නුවරට තියුණු ජයක්; තවත් තරගයක් සමව නිමා වෙයි

4053

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශූරයින්ගේ කුසලානය උදෙසා ප්‍රබල ක්‍රීඩක සංචිතයකින් කණ්ඩායම සන්නද්ධ කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම දිනය වූ අද (9) තරග දෙකක් පැවැත්විය. එක් තරගයකින් මහනුවර කණ්ඩායමට ජයග්‍රහණය අත් වූ අතර, අනෙක් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිමට විශ්ව චතුරංග සවියක් වෙයි

සත්කාරක ඕස්ට්‍රේලියානු යොවුන් පිළට එරෙහිව පැවැත්වෙන යොවුන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (09) නිමා වන විට ශ්‍රී ලංකාව දැඩි අවදානම් තත්ත්වයකට…

මහනුවර හා ගාල්ල අතර තරගය

චාමර කපුගෙදරගේ නායකත්වයෙන් යුතු මහනුවර කණ්ඩායම, කොළඹ NCC පිටියේ දී පැවැත්වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ නමුත් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරන ලදි. මහනුවර කණ්ඩායමට මෙම තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට  හැකි විය.

ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ප්‍රථමයෙන් පිටියට පැමිණ  සාර්ථක ආරම්භක අඩිතාලමක් දැමීමට නායක උපුල් තරංග හා සධීර සමරවික්‍රම සමත් විය. ලකුණු 111ක විශිෂ්ට සබඳතාවය අවසන් වූයේ තරංග පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරීමට සචිත් පතිරණ සමත් වීමත් සමඟයි. දැවී යන අවස්ථාවේ තරංග 4 පහර 6ක් සමඟින් ලකුණු 54ක් ලබා ගෙන සිටියේය.

ගාල්ල සහ මහනුවර කණ්ඩායම අතර තරගයේ ඡායාරූප ඇල්බමය

ධනංජය ද සිල්වා සමඟ එක්වූ සධීර තෙවන කඩුල්ලට ලකුණු 75ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් තම කණ්ඩායම ඉහළ මට්ටමකට ගෙන ඒමට සමත් විය. එහිදී මැදපෙළ සවිමත් කළ ධනංජය 4 පහර 3ක් හා 6 පහර 2ක් සමඟින් ලකුණු 40ක් රැස්කරගන්නා ලදි. NCC පිටිය සිසාරා පිතිකරණයේ යෙදෙමින් සාර්ථකව ලකුණු  රැස්කළ සධීර 4 පහර 12ක් හා 6 පහර 2ක් සමඟින් ලකුණු 109ක් තම කණ්ඩායම වෙනුවෙන් ලබාගෙන, ලකුණු 347ක් වැනි දැවැන්ත ලකුණු මට්ටමකට ලගා වීමට කණ්ඩායමට සහාය විය.

ආරම්භක පිතිකරුවන් දෙපළ අසාර්ථක වූ අවස්ථාවේ, ලකුණු 348ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාමේ වගකීම තම කර මතට ගත් මැදපෙළ යොවුන් පිතිකරු හශාන් දුමිදු 4 පහර 5ක් සමඟින් ලකුණු 76ක් රැස්කර ගත්තේ අවසානයේ සිය කණ්ඩායම ජයග්‍රහණය වෙතට සමීප කරමිනි. ඔහුට සවියක් වූ චරිත් අසලංක ලකුණු 51ක් ලබා ගන්නා ලදි. කඩුලු 9ක් දැවී ලකුණු 274ක් ලබාගෙන ඒ වන විට දුර්වලව සිටි මහනුවර කණ්ඩායමට නව බලාපොරොත්තුවක් එක් කරමින් ළහිරු ගමගේ හා ළහිරු මදුසංක ලකුණු 75*ක නොබිදුනු සබඳතාවයක් ගොඩනංවමින් අවසානයේ තම කණ්ඩායමට ජයග්‍රහණය ගෙන එන ලදි.

ළහිරු මදුසංක ප්‍රතිවාදී කඩුලු 3ක් මෙන්ම 4 හා 6 පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 49*ක් ද රැස්කර ගත්තේ, අනාගත ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්වීමට සුදුසුකම් පෙන්නුම් කරමින් ක්‍රිකට් තේරීම් කමිටුවට යම් ඉඟියක් ද ලබා දෙමිනි.

ගාල්ල – 347/07 (50): සධීර සමරවික්‍රම 109, උපුල් තරංග 54, දසුන් ශානක, ධනංජය ද සිල්වා 40, ලහිරු මදුසංක 3/61, ලහිරු ගමගේ 2/77

මහනුවර – 349/09 (49.3): හශාන් දුමිදු 76, චරිත් අසලංක 51, ලහිරු මදුසංක 49*, චාමර කපුගෙදර 44, ධනංජය ද සිල්වා 2/14, අකිල ධනංජය 2/57, චතුරංග ද සිල්වා 2/64


කොළඹ හා දඹුල්ල අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවැත්වූ මෙම උණුසුම් තරගය ලකුණු සමවීමෙන් අවසන් විය. කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොළඹ නායක දිනේෂ් චන්දිමාල් ප්‍රථමයෙන් පිතිකරණයේ යෙදීමට දඹුල්ල කණ්ඩායමට ආරාධනා කළේය.

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් පළමුව පිටියට පැමිණි නායක කුසල් ජනිත් හට සාර්ථක වීමට අද අවස්ථාවක් නොලැබුණු අතර  ඔහු ලකුණු 19ක් තම කණ්ඩායම වෙනුවෙන් ලබා ගන්නා ලදි. කඩුලු 3ක් දැවී ලකුණු 88ක් ලෙස දඹුලු ලකුණු පුවරුව සටහන් වන විට, පිටියට පැමිණි ළහිරු මිලන්ත හා හර්ෂ කුරේ පිටියේ තම ආධිපත්‍යය පැතිරවූ අතර, එහිදී ලහිරු 4 පහර 9ක් හා එක් දැවැන්ත 6 පහරක් තමන් සතුකරගත්තේ ලකුණු 106ක් වැනි විශිෂ්ට ලකුණක් කණ්ඩායම වෙනුවෙන් පෞද්ගලිකව ලබා ගෙනයි. අනෙක් අන්තයෙන් කොළඹ පන්දු යවන්නන්ට අභියෝගයක් එල්ල කළ හර්ෂ 4 පහර 7ක් හා දැවැන්ත 6 පහර 3ක් ලබාගෙන ශතකය පෙනෙන මානයේ සිටිය දී ලකුණු 94කට අවාසනාවන්ත ලෙස විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

පන්දු යැවීමේ දී කොළඹ කණ්ඩායම වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු හා තිසර පෙරේරා කඩුලු 2ක බැගින් දවා ගැනීමට සමත් විය.

ලකුණු 290ක ඉලක්කයක් හඹා යාමේ අරමුණ පෙරදැරි කරගෙන පිටියට පැමිණි කොළඹ කණ්ඩායමේ මුල් කඩුලු 2ක, ලකුණු 24ක් වන විට දවා ගන්නට අසිත ප්‍රනාන්දු සමත් විය. අනතුරුව පිටියට පැමිණි නායක දිනේෂ් චන්දිමාල් එක් අන්තයක් රැකගෙන තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය අතර, ඔහු තමන් සමඟින් එක්වී සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට හැකි පිතිකරුවෙක් සොයමින් සිටි මොහොතක පිටියට පැමිණි වනිදු හසරංග, චන්දිමාල් සමඟ ලකුණු 172ක දැවැන්ත සබඳතාවයක් 7වන කඩුල්ල සඳහා ගොඩනංවන ලදි. එහිදී වනිදු 4 පහර 11ක් සමඟින් පන්දු 70ක් තුළ ලකුණු 84ක් ලබා ගැනීමට සමත් වූයේ චන්දිමාල්ගේ හිස මත තිබූ පීඩනය මුලුමනින්ම ඉවත් කරමිනි.

අවසන් පන්දු වාරයට ජයග්‍රහණය සඳහා ලකුණු 7ක් ලබා ගැනීමට කොළඹ කණ්ඩායමට නියමිතව තිබූ අතර අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. නායකත්වයේ ඉනිමක් දියත් කළ දිනේෂ් චන්දිමාල් 4 පහර 5ක් හා දැවැන්ත 6 පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 116*ක්  ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේ දී දිල්රුවන් පෙරේරා හා අසිත ප්‍රනාන්දු අතරේ කඩුලු 2ක බැගින් බෙදී යන ලදි.

දඹුල්ල – 289/06 ( 50): ලහිරු මිලන්ත 106, හර්ෂ කුරේ 94, කුසල් මෙන්ඩිස් 36,  විශ්ව ප්‍රනාන්දු 2/48, තිසර පෙරේරා 2/63

කොළඹ – 289/07 (50): දිනේෂ් චන්දිමාල් 116*, වනිදු හසරංග 84, ශෙහාන් ජයසූරිය 47, දිල්රුවන් පෙරේරා 2/36, අසිත ප්‍රනාන්දු 2/59

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට