ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

541

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි-විස්සයි සහ එක්දින තරගාවලි සඳහා ක්‍රීඩිකාවන් 19 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරගාවලිය ලබන ජුනි 23 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

2018 ශ්‍රී ලංකාවේ තරග සංචාරයෙන් අනතුරුව එක්දින තරග 3ක් සහ විස්සයි-විස්සයි තරග 3කට සහභාගී වීම සඳහා Harmanpreet Kaur නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායම මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිය පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව වරට ද්වීපාර්ශවික තරගාවලියකට ශ්‍රී ලංකාවේ දී සහභාගීව ඇත්තේ මීට වසර 4කට පෙරයි. අනතුරුව කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් සෑම රටකටම ජාත්‍යන්තර තරග කාලසටහන රැසක් තාවකාලිකව අවලංගු වුනා.

ඉකුත් දා පාකිස්තානයේ තරග සංචාරයක නිරත ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු මෙවර තරගාවලිය සඳහා එක් කිරීමට තේරීම්වල දී පියවර ගෙන තිබෙනවා.

ඒ අතරම එම තරග සංචාරයට සහභාගී වුන ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු වෙනුවට නවක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු කණ්ඩායමට එකතු වී සිටින අතර ඒ අතර තවමත් පාසල් වයසේ පසුවන ක්‍රීඩිකාවක් වන විශ්මි ගුණරත්න ද ඇතුළත්.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට සහභාගී වීම හේතුවෙන් අවසන් වරට පැවති පාකිස්තාන සංචාරය සඳහා සහභාගී වීමට විශ්මිට හැකි වුනේ නැහැ.

ඇයට අමතරව කණ්ඩායමට නම් කර ඇති නවක ක්‍රීඩිකාවන් අතර ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන රශ්මි ද සිල්වා සහ නුගේගොඩ අනුලා විදුහලේ කෞෂානි නුත්‍යාංගනා ද ජාතික කණ්ඩායමට එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

කඩුලු රකින්නියක ලෙස නුත්‍යාංගනා කණ්ඩායමට ඇතුළත් වන විට කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ කඩුලු රකින්නිය වන ප්‍රසාදිනී වීරක්කොඩිට කණ්ඩායමේ ස්ථානය අහිමි වීම කැපී පෙනෙනවා.

මේ අතර පාකිස්තාන සංචාරයට සහභාගී වුන සචිනි නිසංසලාට කණ්ඩායමේ ස්ථානය අහිමි වෙද්දී, දණ හිසේ ඇතිවී තිබෙන ආබාධයක් හේතුවෙන් ඉමේෂා දුලානි හට ඉන්දියාවට එරෙහි තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව මඟහැරී තිබෙනවා.

  • ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකාව), හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, ඕෂදී රණසිංහ, සුගන්දිකා කුමාරි, ඉනෝකා රණවීර, අචිනි කුලසූරිය, හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, මල්ෂා ෂෙහානි, අමා කාංචනා, උදේශිකා ප්‍රබෝධනී, රෂ්මි ද සිල්වා, හංසිමා කරුණාරත්න, කෞෂානි නුත්‍යාංගනා, සත්‍යා සංදීපනී, තාරිකා සෙව්වන්දි

ඉන්දීය කණ්ඩායමේ මෙම තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන විස්සයි විස්ස තරග තුනම දඹුල්ලේ දී පැවැත්වීමට නියමිත අතර 2022-2025 ICC කාන්තා ක්‍රිකට් ශූරතාවලියට ඇතුළත් එක්දින තරග තුනම මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය එක්දින හා විස්සයි විස්ස සංචිත,

  • එක්දින සංචිතය: Harmanpreet Kaur (Captain), Smriti Mandhana (VC), Shafali Verma, Yastika Bhatia (wk), S Meghana, Deepti Sharma, Poonam Yadav, Rajeshwari Gayakwad, Simran Bahadur, Richa Ghosh (wk), Pooja Vastrakar, Meghna Singh, Renuka Singh, Taniya Bhatia (wk), Harleen Deol.
  • විස්සයි විස්ස සංචිතය: Harmanpreet Kaur (Captain), Smriti Mandhana (VC), Shafali Verma, Yastika Bhatia (wk), S Meghana, Deepti Sharma, Poonam Yadav, Rajeshwari Gayakwad, Simran Bahadur, Richa Ghosh (wk), Pooja Vastrakar, Meghna Singh, Renuka Singh, Jemimah Rodrigues, Radha Yadav.

තරග කාලසටහන

  • පළමු විස්සයි විස්ස තරගය – ජුනි 23 – දඹුල්ල
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජුනි 25 – දඹුල්ල
  • තෙවැනි විස්සයි විස්ස තරගය – ජුනි 27 – දඹුල්ල
  • පළමු එක්දින තරගය – ජුලි 1 – පල්ලෙකැලේ
  • දෙවැනි එක්දින තරගය – ජුලි 4 – පල්ලෙකැලේ
  • තෙවැනි එක්දින තරගය ජුලි 7 – පල්ලෙකැලේ

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<