2022 පළමු පෙළ Tier B පාසල් ක්‍රිකට් බිමේ වැඩ්ඩෝ

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

1747

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ Tier B පාසල් ක්‍රිකට් තරගාවලිය පසුගිය දා නිමා වුනා.

එහිදී කොළඹ තර්ස්ටන් විද්‍යාලය පරාජය කළ සාන්ත පීතර විද්‍යාලය 2016 වසරට පසුව නැවතත් පාසල් පළමු පෙළ ක්‍රිකට් බිමේ (Tier B) එක්දින ශූරයින් බවට පත්වුනා.

කණ්ඩායම් 18ක් කාණ්ඩ 3ක් යටතේ මෙම තරගාවලිය සඳහා තරග වැදුණු අතර මූලික වටයේ තරගවලින් පසු කණ්ඩායම් 8ක් (ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක බැගින් කණ්ඩායම් 6ක් සහ හොඳම 3 වැනි ස්ථාන අතරින් කණ්ඩායම් 2ක්) දෙවැනි වටයට සුදුසුකම් ලබා ගත්තා.

එහි දී මීගමුව මාරිස් ස්ටෙල්ලා, මහනුවර සාන්ත සිල්වෙස්ටර්, ගාල්ල මහින්ද, කොළඹ ඉසිපතන, තර්ස්ටන්, සාන්ත පීතර, ලුම්බිණි සහ මොරටු මහා විද්‍යාල කණ්ඩායම් අතරින් ඉසිපතන, සාන්ත පීතර, මාරිස් ස්ටෙල්ලා සහ තර්ස්ටන් කණ්ඩායම් අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගත්තා.

අවසානයේ දී බවන්ත ජයසිංහගේ නායකත්වයෙන් යුත් තර්ස්ටන් විද්‍යාලය පරාජය කළ අපරාජිත සාන්ත පීතර විද්‍යාලය මෙවර Tier B කොටසේ ශූරතාවය දිනා ගනීමට සමත් වුනා.

වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන්

ලහිරු දවටගේ – සාන්ත පීතර විද්‍යාලය

සාන්ත පීතර විද්‍යාලය ශූරතාවය දක්වා පිතිකරණයෙන් මෙහෙය වූ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක ලහිරු දවටගේ මෙවර Tier B කොටසේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුනා.

කඩුලු රකින පිතිකරුවෙක් ලෙස අංක 4 ස්ථානයේ ක්‍රීඩා කළ 18 හැවිරිදි දවටගේ මෙවර තරගාවලියේ ඉනිම් 7ක දී ලකුණු 377ක් ලබා ගත්තේ අර්ධ ශතක 2ක් සහ ශතකයක් සමඟිනුයි.

ඔහු 53.86ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගත්තේ 86.27ක ප්‍රහාරාත්මක වේගයක් ද සමඟිනුයි. තරගාවලිය පුරාවට 6 පහර 3ක් සහ 4 පහර 33ක් එල්ල කිරීමට දකුණතින් පිතිකරණයේ නිරත වන දවටගේ සමත් වුනු අතර ධර්මපාල විද්‍යාලයට එරෙහිව පන්දු 127ක දී ලබා ගත් ලකුණු 117 ඔහුගේ හොඳම ඉනිම බවට පත්වුනා.

තරිඳු හර්ෂණ – තර්ස්ටන් විද්‍යාලය

තරගාවලිය අනුශූරතාවය දිනා ගත් තර්ස්ටන් විද්‍යාලයේ ආරම්භක කඩුලු රකින පිතිකරුවා වුනු තරිඳු ඉනිම් 8ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 365ක්.

දකුණතින් පිතිකරණයේ නිරත වන ඔහු 4 පහර 31ක් සමඟ ලබා ගත් මේ ලකුණු ප්‍රමාණවල සාමාන්‍යය 45.63ක් වුනු අතර ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 64.60ක් ලෙස සටහන් වුනා.

කොළඹ සහිරා විද්‍යාලයට එරෙහිව පැවති තරගයේ දී පන්දු 106ක් තුල ලකුණු 73ක් ලබා ගැනීම ඔහුගේ හොඳම ඉනිම වුනු අතර තරගාවලිය පුරාවට අර්ධ ශතක 4ක් ලබා ගැනීමට තරිඳු සමත් වුනා.

බවන්ත ජයසිංහ – තර්ස්ටන් විද්‍යාලය

අනුශූරතාවය දිනා ගත් තර්ස්ටන් විද්‍යාලයේ නායකයා ලෙස කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් දැක්වූ බවන්ත මේ තරගාවලියේ ඉනිම් 8ක දී ලකුණු 335ක් ලබා ගත්තා.

ශතකයක් සහ අර්ධ ශතක 2ක් ලබා ගත් බවන්ත 47.86ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගැනීමට සමත් වුනේ නොදැවුණු ඉනිමක් ද ක්‍රීඩා කරමිනි.

117.54ක හොඳ මට්ටමේ ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගත් ඔහු ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව පන්දු 54ක දී නොදැවී ලකුණු 113*ක් ලබාගෙන මේ තරගාවලියේ වාර්තා වුනු වේගවත්ම ශතකයේ හිමිකරු බවට පත්වුනා. එය මෙවර තරගාවලියේ ඔහු දියත් කළ හොඳම ඉනිමයි. මීට අමතරව පන්දු යැවීමෙන් ද කඩුලු 6ක් දවා ගැනීමට ද බවන්ත සමත් වුනා.

තරුෂ නෙත්සර – ඉසිපතන විද්‍යාලය

වයස අවුරුදු 18ක් වන වමතින් පිතිකරණයේ නිරත වන තරුෂ සාන්ත සර්වේසස් විද්‍යාලයට එරෙහිව පන්දු 88ක දී ලකුණු 115ක් ලබා ගැනීමට සමත් වුනා.

46.29ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහිත වුනු තරුෂගේ ප්‍රහාරාත්මක වේගය 108.72ක් වුනු අතර තරගාවලියේ දී එක් ශතකයක් සහ අර්ධ ශතකයක් ලබාගෙන දස්කම් දැක්වූවා.

වනුජ කුමාර – සාන්ත පීතර විද්‍යාලය

ශූරතාවය දිනා ගත් සාන්ත පීතර විද්‍යාලයේ නායක සහ ජාතික 19න් පහළ ක්‍රීඩක වනුජ මේ තරගාවලිය පුරාවට කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් දැක්වූවා.

සාන්ත පීතර විද්‍යාලයේ මැදපෙළ සවිමත් කළ වමත් පිතිකරුවෙක් වන වනුජ ඉනිම් 7ක දී ලකුණු 275ක් ලබා ගත්තේ ලකුණු 68.75ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහ 78.13ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙනයි.

4 පහර 25ක් සහ 6 පහරක් සමඟ රැස්කරගත් ලකුණු 275ට අර්ධ ශතක 2ක් ඇතුළත් වුනා. නොදැවුණු ඉනිම් 3ක් සමඟ තරගාවලිය නිමා කළ වනුජ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට එරෙහිව පන්දු 73ක දී ලබා ගත් නොදැවුණු ලකුණු 86* මෙවර තරගවාරය තුල ඔහු දැක්වූ හොඳම පිතිකරණ දස්කමයි. ඊට අමතරව පන්දු යැවීමෙන් ද කඩුලු 11ක් දවාගෙන දස්කම් දැක්වීමට ඔහු සමත් වුනා.

වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නන්

නිපුන් ප්‍රේමරත්න – තර්ස්ටන් විද්‍යාලය

තර්ස්ටන් විද්‍යාලයට අනුශූරතාවය වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුනු ක්‍රීඩකයෙක් ලෙස වමතින් වේගපන්දු යවන නිපුන් ප්‍රේමරත්න හඳුන්වා දීමට පුළුවන්.

ඔහු ඉනිම් 7ක දී කඩුලු 16ක් දවා ගත්තා. සාන්ත පීතර විද්‍යාලය සමඟ පැවැත්වුණු අවසන් මහා තරගයේ දී සිය හොඳම පන්දු යැවීමේ දස්කම පෙන්වූ නිපුන් එහි දී ලකුණු 34කට කඩුලු 5ක් දවා ගත්තා.

තරගාවලිය පුරාවට නිලකුණු පන්දුවාර 4ක් සහ 12.94ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් පෙන්වූ ඔහු එක් පන්දුවාරයකට දල වශයෙන් 4.25ක ලකුණු ලබා දුන්නා.

ශැනොන් රොද්‍රිගෝ – සාන්ත පීතර විද්‍යාලය

Tier B කොටසේ ශූරතාවය දිනා ගත් සාන්ත පීතර විද්‍යාලයේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වුණේ ශැනොන්.

17 හැවිරිදි ඔහු මෙවර තරගාවලියේ ඉනිම් 8ක දී කඩුලු 15ක් දවාගෙන දස්කම් දැක්වූවා. වමතින් දඟපන්දු යවන ඔහු නිලකුණු පන්දුවාර 4ක් සමඟ 12.27ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත් වුනා.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට එරෙහිව ලකුණු 48කට කඩුලු 3ක් බිඳ හෙලීම හොඳම දස්කම ලෙස සටහන් කළ ශැනොන් දල වශයෙන් පන්දුවාරයකට 3.23ක ලකුණු ලබා දීමක් සිදු කරමින් පන්දු යැවීම සිදු කළා.

කෙවින් සැමුවෙල් – ඉසිපතන විද්‍යාලය

18 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන කෙවින් සැමුවෙල් ඉනිම් 7ක දී කඩුලු 15ක් දවාගෙන දස්කම් දක්වමින් මෙවර Tier B කොටසේ වැඩිම කඩුලු ලාභීන් අතර තුන්වැනි තැන දිනා ගත්තා.

ඉසිපතන විද්‍යාලයට අවසන් පූර්ව තරගයට පැමිණීම දක්වා පන්දු යැවීමෙන් වැඩි මෙහෙයක් ඉටු කළ සැමුවෙල් මාතර සාන්ත සර්වේසස් විද්‍යාලයට එරෙහිව ලකුණු 21කට කඩුලු 6ක දස්කමක් පෙන්නුම් කළා.

15.93ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන පන්දු යැවූ සැමුවෙල්ට එරෙහිව දල වශයෙන් පන්දුවාරයකට 5.21ක ලකුණු ලබා ගැනීමක් සිදුකර තිබෙනවා.

තනුග පලිහවඩන – තර්ස්ටන් විද්‍යාලය

වමතින් දඟපන්දු යවන 15 හැවිරිදි තනුග තරගාවලියේ ඉනිම 8කදී කඩුලු 13ක් දවාගත් අතර නිලකුණු පන්දුවාර 5ක් එයට ඇතුළත්.

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට එරෙහිව ලකුණු 21කට කඩුලු 4ක් දවා ගැනීම මේ තරගාවලිය තුල තනුග දැක්වූ හොඳම දස්කමයි. 8.92ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් සඳහා හිමිකම් කියන ඔහුට එරෙහිව දල වශයෙන් පන්දුවාරයකට 3.25ක ලකුණු ලබා ගැනීමක් සිදුකර තිබෙනවා.

කවිෂ්ක ඉමේෂ් – සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය නියෝජනය කරන කවිෂ්ක වයස අවුරුදු 18ක් වන ක්‍රීඩකයෙක්.

දකුණතින් පා දඟපන්දු යවන ඔහු ඉනිම් 6ක දී කඩුලු 13ක් දවාගෙන දස්කම් දැක්වූ අතර එහි දී 15.08ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් සහ නිලකුණු පන්දුවාර 5ක් ක්‍රියාත්මක කිරීමට සමත් වුනා.

ලකුණු 40කට කඩුලු 4ක් දවාගෙන ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව සිය හොඳම පන්දු යැවීමේ දස්කම පෙන්නුම් කළ කවිෂ්කට එරෙහිව දල වශයෙන් පන්දුවාරයකට 3.77ක ලකුණු ලබා ගැනීමක් සිදු කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<