හිටපු පාකිස්තානු ක්‍රිකට් ප්‍රබලයෙක් කොරෝනාවට බිලි වෙයි

108

දකුණු ආසියානු කලාපීය රටවල පෙන්නුම් කරන සීඝ්‍ර ව්‍යප්තියත් සමඟින් COVID-19 වසංගතය මේ දිනවල දහස් ගණනින් මිනිස් ජීවිත බිලි ගනිමින් තිබෙන්නේ තවත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත තවදුරටත් දැඩි අවදානමක හෙළමිනි. 

සිත් රිදීම් මැද අනාගතය දකින එංගලන්ත වේගපන්දු යවන්නා

එංගලන්ත වේගපන්දු බලඇණිය ශක්තිමත් කළ ප්‍රධානතම තුරුම්පුවක් ලෙස ලියම් ප්ලන්කට්ගේ…

ඒ අතුරින් ඉතාමත් කණගාටුදායක පුවතක් ඊයේ (13) දිනයේ දී පාකිස්තානයේ පේශාවර් නුවරින් අසන්නට ලැබුනේ එරට පළමුපෙළ තරගාවලීන් හිදී සුපිරි දක්ෂතා දැක්වූ හිටපු ක්‍රීඩකයෙකු වන සෆාර් සර්ෆ්‍රාස් මහතා කොරෝනා රෝගී තත්වය උත්සන්න වීම නිසාවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. 

මියයන විට 50 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා පසුගිය අඟහරුවාදා දිනයේ දී පේශාවර් නුවර ලේඩි රීඩින්ග් රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී පැවැත්වූ පරීක්ෂණයන්ගෙන් අනතුරුව  ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය. කෙසේනමුත් ඒ මහතාගේ රෝග ලක්ෂණ ක්‍රමයෙන් උත්සන්න වීමත් සමඟ වැඩිදුරටත් ප්‍රතිකාර සඳහා දින තුනක කාලයකට එම රෝහලේම දැඩි සත්කාරක ඒකකය වෙත ඇතුළත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබුනි. 

1988 වසරේ සිට 1994 වසර දක්වා කාලසීමාව තුළ පළමුපෙළ තරග 15කට ක්‍රීඩා කර ඇති සර්ෆ්‍රාස් මහතා, A ලැයිස්තුවේ තරගය 6ක් සඳහා ද තම දායකත්වය ලබා දී තිබේ. දක්ෂ වමත් පිතිකරුවෙකු ලෙසින් තම දක්ෂතා ප්‍රදර්ශනය කළ ඔහු, අවශ්‍ය මොහොතේ දී පන්දුවෙන් වුවද ප්‍රතිවාදීන් මෙල්ල කිරීමට සමත්කම් දැක්වූයේ උපායශීලී වමත් දඟපන්දු යවන්නෙකි. 

මුම්බායි හි සචින් – විනෝද් ඉන්දියාව කැලඹූ හැටි

1988 වසරේ පෙබරවාරි මස දිනක ඉන්දියාවේ පාසල් අතර පැවැත්වෙන හැරිස් පලිහ කුසලානයේ…

ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ තමන් සතුව ඇති හසල දැනුම් සම්භාරය යොවුන් ක්‍රීඩකයන් අතරේ බෙදා දීමේ අරමුණින් 2000 වසරේ දී පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීම ඇරඹූ සර්ෆ්‍රාස් මහතා, පේශාවර් වයස අවුරුදු 19න් පහළ සහ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් වලට ගුරු හරුකම් ලබා දෙමින් කැපී පෙනෙන සේවයක් ඉටු කරන ලදි. 

සර්ෆ්‍රාස් මහතාගේ හදිසි වෙන්ව යාම ඔහුගේ පවුලේ සාමාජිකයන් හට දැඩිව බලපා ඇති බව වාර්තා වන්නේ මීට මාස කිහිපයකට ඉහත දී ඔහුගේ සහෝදරයා ද මහ අන්ත්‍රයේ ඇති වූ පිළිකාවක් නිසාවෙන් ජීවිතයෙන් සමුගෙන තිබීම නිසාවෙනි. අක්තාර් සර්ෆ්‍රාස් පාකිස්තානය වෙනුවෙන් අන්තර්ජාතික තරග 4කට ක්‍රීඩා කර ඇති දක්ෂ ක්‍රීඩකයෙකු ලෙස හැඳින්විය හැක. 

පාකිස්තානය තුළ COVID-19 වසංගතයට ගොදුරු වූ වැඩිම පිරිසක් වාර්තා වන්නේ පේශාවර් නගරය සහ ඒ ආශ්‍රිත තදාසන්න ප්‍රදේශයන්ගෙන් වන අතර එය සංඛ්‍යාත්මකව දැක්වෙන්නේ මුළු ආසාදිතයන් සංඛ්‍යාවෙන් 13%ක පමණ ප්‍රතිශතයක් ලෙසයි. එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව මේ වන විට 100ක් පමණ වන බව සඳහන් වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<