ෂේන් වෝන් සහ සැබැඳියෝ!

1439
Getty Images

ෂේන් වෝන් කියන්නේ ක්‍රිකට් පිටියේ දැවැන්ත චරිතයක්. කෙටියෙන්ම කියනවා නම් පුරාවෘත්තයක්. හැබැයි ෂේන් වෝන් කියන්නේ සුදන චරිතයක් නම් නෙවෙයි. එතකොට කොහොමද ෂේන් වෝන් එහෙම දැවැන්තයෙක් වෙන්නේ.

ක්‍රිකට් පිටියේ දස්කම්වලට අමතරව වෝන්ට අසාමාන්‍ය පෞරුෂයක් තිබුණා. ඔහු ඇතැමුන් සමඟ ගනුදෙනු කළ විදිය හරි අපූරුයි. මෑතක දී අප අතරින් සමුගත් ෂේන් වෝන් එහෙමත් නැත්නම් වෝනිගේ ක්‍රිකට් ජීවිතයේ අපූරු කතා කිහිපයක් මේ.

“තමුසේ ගැන එක මිනිහෙක් හොඳක් කියන්නේ නෑ”.

දෙදහස් ගණන්වල මුල දිනයක හැම්ප්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම රැගත් බස් රථයක් නොටිංහැම්ෂයරයට ළඟා වෙමින් තිබුණා.

එවකට හැම්ප්ෂයර් කණ්ඩායම නියෝජනය කරමින් සිටි, එතෙක් මෙතෙක් ලොව බිහි වූ සුපිරිතම දඟපන්දු යවන්නෙකු වූ ෂේන් වෝන් ද මෙකී බස් රථයේ සිටි එක් සාමාජිකයෙකු වුනා.

“වෝනි, ඕකා මහා බක පණ්ඩිතයා. ඔය ඔළුව ඉඳිමිච්ච මෝඩයාව ඉක්මනින් අවුට් කරන්න”

වරින් වර ෂේන් වෝන් වෙත පැමිණෙන හැම්ප්ෂයර් ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියානුවාට ආයාචනය කරන්නට වුනා.

“කවුද ඔය කියන පණ්ඩිතයා?”

“අර කෙවින් පීටර්සන් කියන එකා”

සෙසු හැම්ප්ෂයර් ක්‍රීඩකයෝ එක හඬින් ප්‍රකාශ කළා.

දකුණු අප්‍රිකාවේ පීටර්මරිට්ස්බර්ග් නුවර සිට ක්‍රිකට් ගසන්නට එංගලන්තයට පැමිණ සිටි කෙවින් පීටර්සන් ගැන ෂේන් වෝන්ගේ ඇස පළමු වරට ඇරෙන්නේ එලෙස.

උස් සිරුරක් හිමි මේ දකුණු අප්‍රිකානු තරුණයාට සියල්ලෝම අකැමැති වන්නට හේතුව ඔහු කලාතුරකින් දකින්නට ලැබෙන තරමේ දක්ෂයෙකු විය හැකි නිසා බව ෂේන් වෝන් අනුමානය කළා.

පසුදා උදෑසන ෂේන් වෝන් නොටිංහැම්ෂයර් කණ්ඩායමේ කඩුල්ලක් දවා ගැනීමෙන් අනතුරුව සැවොම බලාපොරොත්තුවෙන් සිටි කෙවින් පීටර්සන් කඩුල්ලට ඇවිද ආවා.

එතෙක් වෙලාවක් දැඩි උද්‍යෝගිමත් බවක් පෙන්නුම් කළ හැම්ප්ෂයර් පන්දු රකින්නෝ පීටර්සන්ගේ ආගමනයත් සමග දැඩි නිහඬ බවක් අනුගමනය කරන්නට වුනා.

“අපේ උදවිය මේ යකාට බය වෙලාවත් ද”

පන්දු යවමින් සිටි ෂේන් වෝන් තමාටම මුමුණා ගත්තා.

මොහොතකට පසුව ෂේන් වෝන්, පීටර්සන්ට පන්දු යවන්නට සූදානමින්

වෝන් තමාගේ සීමාවේ සිට පැමිණ පන්දුව යවන්නට සූදානම් වෙත්ම වහාම පීටර්සන් ඔහුව නැවැත්තුවා.

කමක් නෑ. මෙයාට ආපහු වතාවක් ෆීල්ඩර්ස්ලා ඉන්න තැන් බලාගන්න ඕන ඇති. නැවත පන්දු යවන්නාගේ සීමාවට යමින් වෝන් හිතුවා.

2005 අළුබඳුන තරගාවලිය අතරතුර ෂේන් වෝන් සහ කෙවින් පීටර්සන්

වෝන් සෙමින් ඇවිද එමින් නැවත වතාවක් පන්දුවක් එවන්නට සූදානම් වුවත්, නැවත වතාවක් පීටර්සන් ඔහුව පන්දු යවන ඉරියව්වේ දී ම නැවැත්තුවා.

එවර නම් ෂේන් වෝන්ගේ කේන්තිය නහුතෙටම නැග්ගා.

“මේ හාදයා, තමුසේ දැන ගන්නවා තමුසේ ගැන එක මිනිහෙක් හොඳක් කියන්නේ නෑ. අඩුම ගානේ තමුසෙගේ ටීම් එකේ එකෙක්වත් හොඳක් කියන්නේ නෑ. ක්‍රිකට් ගහන්නවත් තමුසේ හොඳයි ද බලන්න පුළුවන් නම් බෝලෙකටවත් ෆේස් කරනවා”.

පන්දු දෙක තුනකට පසුව කෙවින් පීටර්සන්ගේ ඉනිම නිමා කරන්නට ෂේන් වෝන් සමත් වුනා.

ෂේන් වෝන් සහ හැම්ප්ෂයර් කණ්ඩායමේ අවලාද ගැරහුම් මැද දකුණු අප්‍රිකාවෙන් පැමිණි තරුණ නොටිංහැම්ෂයර් ක්‍රීඩකයා ක්‍රීඩාගාරයට පියමං කළා.

එලෙස එදා ෂේන් වෝන්ගේ ග්‍රහණයට නතු වූ කෙවින් පීටර්සන් නම් තරුණයා 2004 වසරේ අග හැම්ප්ෂයර් කණ්ඩායමට එක්වන්නට කැමති බැව් ශ්‍රීමත් ඉයන් බෝතම් හරහා වෝන්ට දන්වා සිටියා.

වෝන්ගේ නායකත්වය ගැන පීටර්සන් විශාල පැහැදීමෙන් සිටින බවත් ඔහුගේ ක්‍රිකට් ගමන තවත් මුවහත් කර ගත හැක්කේ වෝන් හරහා බව තමා විශ්වාස කරන බව බෝතම්, වෝන්ට ප්‍රකාශ කර සිටියා.

එතැන් පටන් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්ත පුරාවෘත්තයක් බවට පත්වන්නට කෙවින් පීටර්සන් ආ ගමනට හැම්ප්ෂයරයෙන් සහ ෂේන් වෝන්ගෙන් ලද දායකත්වය අතිමහත් වුනා.

“මම හිතන්නේ ඔබව අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍යතාවක් නෑ”.

මම කායිෆ්… මොහොමඩ් කායිෆ්

හෝටලයේ පිළිගැනීමේ කවුන්ටරය වෙත පැමිණි අයෙකු නෝක්කාඩු ස්වරයෙන් ප්‍රකාශ කළා.

ඒ 2008 වසරයි. ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නැවතී සිටියේ ඉහත කී හෝටලයේ.

පිළිගැනීමේ කවුන්ටරය ඉදිරියේ වාදයකට පැටලී සිටියේ ඇමෙරිකානු ඩොලර් 650,000ක මුදලකට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිල දී ගත් ඉන්දියානු ජාතික කණ්ඩායම නියෝජනය කළ මොහොමඩ් කායිෆ්.

අදාළ සිදුවීම හොඳින් නිරීක්ෂණය කරමින් තවකෙකු පිළිගැනීමේ කවුන්ටරයට මදක් ඔබ්බෙන් වුනා. ෂේන් වෝන් නම් දඟපන්දුවෙන් ලොවක් මවිත කළ ඔහු එවර රාජස්ථාන කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයාය. රාජස්ථාන ක්‍රීඩකයින් සම්බන්ධයෙන් සියලුම වගකීම් පැවරී ඇත්තේ ද ඔහුට.

“මම හිතන්නේ කායිෆ් කියමින් ඔබව අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍යතාවක් නැති වෙයි. මොකක්ද ඔබට තිබෙන ප්‍රශ්නය?”

කායිෆ් සිදුවීම උච්චතම අවස්ථාවට පැමිණෙද්දී වෝන් සිය කටහඬ අවදි කළා.

“ක්‍රීඩකයෝ හැමදෙනාටම එකම ප්‍රමාණයේ කාමර දීල තියෙන්නේ” , කායිෆ්ගේ කතාව තවමත් නෝක්කාඩු ස්වරූපයෙන්.

“හරි කායිෆ්. ඔබට විශාල කාමරයක් අවශ්‍ය කරනවද?”

“මම කායිෆ්. ඉන්දියානු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක්. මට ලැබිලා තියෙන්නේත් අනෙකුත් සාමාන්‍ය ක්‍රීඩකයින්ට ලැබුණ ප්‍රමාණයේ කාමරයක්.”

‘කායිෆ් මේ අහන්න මේ කණ්ඩායමෙන් තරමක විශාල කාමරයක් ලැබිලා තියෙන්නේ මට විතරයි. මොකද මට නිතරම අමුත්තන් මුණ ගැහෙන්න තියන නිසා. වෙන කරන්න දෙයක් නැහැ.”

ඉකුත් සිදුවීම ෂේන් වෝන්ගේ සිතේ ඇති කළේ කැලඹීමක්. විවිධ අදහස් ඇති, විවිධ රටවලින් පැමිණි ක්‍රීඩකයින්ගේ විශ්වාසය තමාට දිනා ගත හැකි වේ ද ඔහු කල්පනා කළා.

බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට අනුව ඔඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායකත්වයට පත් නොවූ හොඳම ක්‍රිකට් මොළය ෂේන් වෝන්.

2008 වසරේ ෂේන් වෝන්ගේ නායකත්වයෙන් ඉන්දියානු ප්‍රිමියර් ලීග් ශූරතාවය දිනූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම.

එදා කායිෆ් සිදුවීමෙන් යම් ව්‍යාකූල තත්වයකට පත්වුවද පසුව වෝන් සියලුම රාජස්ථාන් රෝයල්ස් ක්‍රීඩකයින්ගේ විශ්වාසය දිනා ගනිමින්, සමානාත්මතාව රැක ගනිමින් ඉන්දියානු ප්‍රිමියර් ලීග් කිරුළ වෙත ඔවුන් රැගෙන ගිය අන්දම අපූරු අන්දරයක්.

“වෝන්ට එදිරි වූ ශ්‍රී ලාංකිකයා.”

ෂේන් වෝන් ක්‍රිකට් පිටියේ කොයි තරම් වැඩකාරයෙක් වුනත් පිටියෙන් එහා එයාගේ කල් ක්‍රියාව නම් ඒ තරම් හොඳ නැහැ කියල අපි කලින් කිව්වානේ.

ප්‍රතිවාදියාගේ ඔළුවට රිංගලා ඔළුව විකාර කරලා ඔහුව සම්පූර්ණයෙන්ම අඩපණ කරන්න වෝන් කියන ඕස්ට්‍රේලියානුවාට තිබුණේ පුදුම හැකියාවක්. හැබැයි වෝන්ට විරුද්ධව එහෙම අභියෝගයක් ආපු හැමවෙලාවකම එයා තව තවත් ශක්තිමත් වූ බවක් කියවුනා.

හැබැයි වෝන් කියන වදකාරයාටත් සෑහෙන වදයක් වුන ප්‍රතිවාදියෙක් ගැන වෝන් පස්සේ කාලෙක කතා කරලා තිබුණා. ඒ පත්තරේකට තීරු ලිපියක් ලියමින්. මේ ප්‍රතිවාදියා තමයි අපේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග.

“ශ්‍රී ලංකාව ගැන මම පහුගිය අවුරුදු ගාණක් තිස්සේ කතා කරපු දේවල් ගැන බැලුවොත් ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම ශ්‍රී ලංකාවට කිසිම කැමැත්තක් නෑ කියල. නමුත් එහෙම දෙයක් නෑ. මම ශ්‍රී ලංකාව කියන රටට ආසයි.

මට ප්‍රශ්නය තියෙන්නේ ඔවුන්ගේ හිටපු නායක අර්ජුන රණතුංග එක්ක. සැකයක් තියාගන්න එපා ඔහු තමයි මට එපාම කරපු සහ අභියෝගාත්මකම ප්‍රතිවාදියා.

1996 විල්ස් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අර්ජුන රණතුංග ෂේන් වෝන්ට එරෙහිව පන්දුවට පහර දෙමින්.

ඔහු මට එරෙහිව ක්‍රීඩා කරපු හොඳම පිතිකරුවා නෙවෙයි. මම ඔහුට අකැමැති වුනේ ක්‍රීඩාවේ ජීවගුණයට ඔහුගෙන් සිදු වූ හානිය නිසා. ඔහු ක්‍රීඩාවේ නීතිරීතිවල අඩුපාඩු තමන්ගේ වාසිය වෙනුවෙන් උපරිමයටම පාවිච්චි කරපු කෙනෙක්. ඔහු නිසා විනිසුරුවන්ට පවා තමන්ගේ රාජකාරිය හරියාකාරයෙන් කරන්න ලැබුණේ නැහැ.”

වෝන් තමන්ගේ සටහනේ එහෙම ලියලා තිබුණා.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<