ශ්‍රී ලංකා ක්‍රිකට් ජනතාව වෙනුවෙන් පෙරට එයි

349

අත්‍යාවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 718) පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (25) තීරණය කර තිබෙනවා.

ඒ අනුව ළමුන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා කොළඹ ‘රිජ්වේ ආර්යා ළමා රෝහලට’ ඇමරිකානු ඩොලර් මිලියනයක් සහ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ මිල දී ගැනීම වෙනුවෙන් “ජාතික පිළිකා රෝහල” වෙත ඇමෙරිකානු ඩොලර් මිලියනයක් බැගින් සමස්ත ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක් පරිත්‍යාග කරනු ඇති.

“රටට අවශ්‍ය මේ මොහොතේ දී මෙම පරිත්‍යාග කිරීමට අපිට හැකි වීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතිශයින් සතුටට පත්වෙනවා, මුහුණ දී තිබෙන මේ අභියෝගාත්මක අවස්ථාව ජය ගැනීම සඳහා අපේ ජාතියට සහ අපේ රටට අපි අපගේ උපරිම සහයෝගය ලබා දෙනවා”, යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසා සිටියා.

ඊයේ (24) රැස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම පරිත්‍යාගය අනුමත කර තිබෙන අතර එම ආධාරවල මුදල් ප්‍රමාණය වහාම එම ආයතනවල නිලධාරීන් වෙත පරිත්‍යාග කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<