ධනුෂ්කගේ වියදම් දරන්න SLC ඉදිරිපත් වෙයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

21350

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සිටි මොහොතක ධනුෂ්ක ගුණතිලක හට “කැමැත්තකින් තොරව ලිංගිකව එක් වීම” සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ නිසා, ඔහුට නීතිමය ආරක්ෂාව සැපයීමට අවශ්‍ය මුදල් ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් පවසා සිටිනවා.

සක්‍රීය තරග සංචාරයක් අතරතුර පෙම් හමුවකට (Date) යාමෙන් ධනුෂ්ක විසින් SLC නීති රාමුව (Code of Conduct) කඩ කළේ ද යන්න තවමත් හරි හැටි පැහැදිලි නැති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් හි ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා විසින් ESPNcricinfo වෙත පවසා තිබෙනවා.

එමෙන්ම ධනුෂ්කගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහය වීමට කිසිදු ගිවිසුම් සහගත බැඳීමක් SLCයට නොමැති අතර, වියදම් වූ මුදල් ආපසු ගෙවන මෙන් ගුණතිලකගෙන් ඉල්ලා සිටීමෙන් හෝ ඔහුට ගෙවීමට ඇති මුදල් රඳවා තබා ගැනීමෙන් නීතිමය වියදම් අය කර ගන්නා බව ද ඈෂ්ලි ද සිල්වා මහතා විසින් තවදුරටත් පවසා තිබෙනවා.

“මේක පෞද්ගලික සංචාරයක් නෙවෙයි, ඔහු කණ්ඩායම සමඟ නිල වශයෙන් සිටි නිසා, නඩුවේ ප්‍රතිඵලය කුමක් වුවත් පසුව ඔහුගෙන් අය කර ගැනීමේ කොන්දේසිය මත ඔහුගේ නීති ගාස්තු ගෙවිය යුතු බව අපිට හැඟුණා.

ඔහුගේ දෙමාපියන්ට ඒ දේ (නීතිමය වියදම් දරා ගැනීම) සිදු කිරීමට හැකියාවක් නැහැ.”

ධනුෂ්ක ගුණතිලක 2017 වසරේ මැද බාගයේ සිට ශ්‍රී ලංකාවේ සීමිත ඕවර කණ්ඩායම්වල නිත්‍ය සාමාජිකයෙකුව සිටියේ එක්දින තරග 47ක්, විස්සයි විස්ස තරග 46ක් සමඟින් ටෙස්ට් තරග 8කට ද ක්‍රීඩා කරමින් වන අතර, අවම වශයෙන් ඔහු විස්සයි විස්ස ලීග් තරගාවලි තුනකට පමණ ද ක්‍රීඩා කර තිබෙනවා. එමෙන්ම ඔහු වෙත දේශීය අනුග්‍රාහක ගිවිසුම් ද තිබෙනවා.

2016 වසරේ දී කුසල් ජනිත් පෙරේරාට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් මාස හයකට ආසන්න කාලයක් තිස්සේ ලබා දුන් සහයෝගය, දැන් ධනුෂ්ක ගුණතිලක වෙත ලබා දෙන සහයෝගයට සමාන කරමින් ඈෂ්ලි ද සිල්වා මහතා තවදුරටත් මේ පිළිබඳ අදහස් පල කරා.

“කුසල් පෙරේරා සම්බන්ධව ඇති වුන සිදුවීමෙන් ඔහු නිදහස් වුනාට පස්සේ අපි වියදම අය කරගත්තා වගේම මෙතන දීත් කරනවා.”

කෙසේ වෙතත් කුසල් පෙරේරාගේ සිදුවීම අපරාධ සම්බන්ධ සිදුවීමක් නොවන අතර, අපරාධ චෝදනාවලට ලක්ව සිටින ක්‍රීඩකයකුට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් මීට පෙර කිසිදු අවස්ථාවක නිල වශයෙන් සහය ලබා දී නොමැති බව ESPNcricinfo විසින් වාර්තා කරනවා.

පසුගිය ඔක්තෝබර් 19 වැනිදා ආබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකව විස්සයි විස්ස සංචිතයෙන් ඉවත් කෙරුණු නමුත්, අතිරේක ක්‍රීඩකයකු වශයෙන් (stand-by player) ඔහු තවදුරටත් කණ්ඩායම සමඟින් රැඳී සිටියා.

මෙවැනි බරපතළ චෝදනා ලැබ සිටින ක්‍රීඩකයකුට සහය වීම මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නාමයට කැළලක් සිදු වෙනවා ද යනුවෙන් ESPNcricinfo විසින් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, “මෙවැනි තත්වයකට වැටුණු කෙනෙකුට” පාලක මණ්ඩලය විසින් සිය සහයෝගය ලබා දිය යුතු බව ඈෂ්ලි ද සිල්වා මහතා පවසා සිටියා.

ගුණතිලක විසින් කණ්ඩායම සංචාරයක් වෙත යාමේ දී අනුගමනය කරන අභ්‍යන්තර වාරණයක් කඩ කළා ද යන්න පිළිබඳ ඈෂ්ලි ද සිල්වාට තවමත් විශ්වාසයක් නොමැති අතර, ඒ පිළිබඳ ‘ස්වාධීන පරීක්ෂණයක්’ සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවත්, කණ්ඩායම් කළමනාකරු විසින් ICC ආරක්ෂක නිලධාරීන් හා සම්බන්ධ වී ධනුෂ්ක එදින සවස නීතියට විරුද්ධ වෙමින් පිටව ගොස් ඇත් දැයි සොයා බලන බවත් ඔහු සඳහන් කර තිබුණා.

එමෙන්ම දේශපාලනඥයන් විසින් ගුණතිලකගේ වියදම් දරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත උපදෙස් ලබා දුන්නා යැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු විසින් සිදු කළ චෝදනාව ද SLC විසින් ප්‍රතිකශේප කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඊයේ (08) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් ඒ බව ප්‍රකාශ කළා.

“ධනුෂ්ක ගුණතිලක මහතාට පවතින ඕනෑම නීත්‍යනුකූල අයිතිවාසිකමක් ලබා ගැනීමට ඉඩ ලබා දීම සඳහා ගත යුතු අනිවාර්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ දී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ‘තෙවැනි පාර්ශවයකින්’ කිසිදු ආකාරයක බලපෑමක් සිදු වී නොමැත,” යනුවෙන් සඳහන් වී තිබුණා.

එමෙන්ම එම නිවේදනයේම ධනුෂ්කගේ නීතිමය අයිතීන් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් තමන්, “ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය, විදේශ කටයුතු

අමාත්‍යංශය සහ නිල උපදේශකයින් සමඟ සාකච්ඡා කර” ක්‍රියාමාර්ග ගත් බව ද සඳහන් කර තිබුණා.

සිඩ්නි පොලිසිය මගින් ධනුෂ්ක ගුණතිලකව පසුගිය ඉරිදා උදෑසන අඩංගුවට ගත්තා. එහි දී ඔහුට විරුද්ධව කැමැත්තකින් තොරව ලිංගිකව එකතු වීම සම්බන්ධයෙන් චෝදනා හතරක් එල්ල වී තිබූ අතර පසුව ඔහු වෙනුවෙන් ඇප ලබා දීම ද ප්‍රතිකශේප වී තිබුණා.

අත්අඩංගුවට ගන්නා වෙලාවේ කණ්ඩායම් කළමනාකාරිත්වය සමඟ සිදු කළ විනාඩි පහකට ආසන්න කතාබහට අමතරව ධනුෂ්ක ගුණතිලක සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්‍ය මණ්ඩලය විසින් කිසිදු සෘජු සම්බන්ධතාවයක් පවත්වා නොමැති බව ද ඈෂ්ලි ද සිල්වා විසින් ප්‍රකාශ කර තිබෙනවා.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPNcricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<