Fearless ක්‍රිකට් ගහලා පෙන්නන දේ

ඉන්දියානු ප්‍රීමියර් ලීගය

5323

දීර්ඝ නිහැඬියාවකින් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සයදෙනෙකු මෙවර IPL තරගාවලියට නම් වීමත් සමඟ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් අස්වැසිල්ලට පත්විය. 2017 වසරෙන් පසුව 2022 දක්වාම කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු IPL තරගාවලිය සඳහා ක්‍රීඩා කළේ නැත.

එයම අස්වැසිල්ලකි. ඔවුන් IPL කණ්ඩායම් තුළ ක්‍රීඩා කරාවි ද, නොකරාවි ද යන්න පසෙක තබා ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් සතුටු වූයේ එතෙක් අභාග්‍ය සම්පන්න කාල සමයක් පසුකරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් තුළින් බිහි වූ ක්‍රීඩකයන් හට බංකුවක සිට හෝ IPL තරග නැරඹීමට හැකි වීම, ජාත්‍යන්තර ක්‍රීඩකයන් හා එකම ක්‍රීඩාගාරය බෙදා ගැනීමට ලැබීම පවා සහනදායී ආයෝජනයක් වීම නිසා ය.

2008/09 කාල පරිච්ඡේදය වන විට ශ්‍රී ලංකාවේ දෙවැනි පෙළ ක්‍රීඩකයන් වූ චාමර සිල්වා, චාමර කපුගෙදර, ෆර්වීස් මහරුෆ්, දිල්හාර ප්‍රනාන්දු ආදීන් පවා IPL තරගාවලියේ ස්ථාන වෙන්කරගත්තේ ය. ඒ සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ටී. එම්. ඩිල්ෂාන් වැන්නන් හා එකට ය.

අපගේ ක්‍රිකට් ක්‍රීඩකයන් සිටි මට්ටම එයයි. එහෙත් එතනින් පසුව එළඹුණේ දස්කම් කෙතරම් තිබුනත් ඒ දස්කම් වලට සාධාරණය ඉටු කරන්නට අසමත් වූවන්ගේ යුගයකි.

crictracker.com
2008/09දී ටී.එම්.ඩිල්ෂාන් සහ ෆර්වීස් මහරුෆ් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට ක්‍රීඩා කරමින්

මීට වසරකට පමණ පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නව ප්‍රධානියෙකු සමඟින් නව ගමනක් ඇරඹුවේය. එහි දී අසන්නට ලැබුණු ප්‍රධාන කාරණයක් වූයේ “Fearless ක්‍රිකට්” (නිර්භය ක්‍රිකට්) ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ව පෙලඹ විය යුතු බව ය.

එතෙක් යම් සැකයකින් ක්‍රිකට් ක්‍රීඩා කළ තරුණ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගැන බොහෝ ප්‍රේක්ෂකයන් තුළ තිබුණේ අප්‍රසාදයකි. එහෙත් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ “Fearless ක්‍රිකට්” කතාව නිසා යම් කතාබහක් ඇති විය.

මේ වන විට ලොව ජනප්‍රිය ක්‍රිකට් ප්‍රවණතාවක් වන්නේ නොබියව පිතිකරණයේ යෙදීම, පන්දු යැවීම සහ පන්දු රැකීමයි. සෙමෙන් ඉනිමක් ගොඩනගනවාට වඩා වේගවත් ආරම්භයක් ලබාගෙන, තමන්ගේ දක්ෂතා විශ්වාස කොට ක්‍රීඩා කිරීම ජයග්‍රහණ ගෙන දේ. ජයග්‍රහණය පෙනෙන මානයකවත් නොතිබෙන තරගයක් ජය ගෙන ඉතිහාසයට එක්විය හැක්කේ එවැනි පිතිකරුවන්ට ය.

වේගවත් පිතිකරුවන් ඉදිරියේ අවදානමක් ගෙන පන්දුව ගුවනට මුසු කිරීම හෝ වෙනස් පන්දු අත්හදා බැලීමට හැක්කේ නිර්භය පන්දු යවන්නන්ට පමණි. ඉන් ලැබෙන කඩුලු ඔබේ නම ඉතිහාසයට එක්කරයි. රැකගැනීම ගැන සිතන්නට පවා අපහසු උඩපන්දුවක් වෙත ගුවනේ පාවී ගොස් “උඩපන්දුවක් අත්හැරියේයැ”යි චෝදනා ලැබීමට නොබිය වීම නිසා, “විශිෂ්ට උඩපන්දුවක් රැකගත්තේයැ”යි ඔබේ නම ඉතිහාසයට එක්කිරීමට ද හැකිය.

Fearless ක්‍රිකට්වල අලංකාරය එයයි. අවදානම ගෙන අසමත් වුවහොත් බැනුම් ඇසීමටත්, අවදානම ගෙන සමත් වූ විට ඓතිහාසික ක්‍රිකට් මොහොතක හිමිකරුවෙකු වී එන ප්‍රශංසා ගඟේ ගිලි මිය නොයාමටත් ඔබ ශක්තිමත් විය යුතුය. කොටින්ම අවදානම ගැනීමට බිය නොවීම වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ මූලිකාංගයකි.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින් “නොබිය ක්‍රිකට්” ක්‍රීඩා කිරීමට පෙලඹ වූ ශ්‍රී ලංකා පිතිකරුවන් සහ පන්දු යවන්නන් ජාත්‍යන්තර තරගවල දී යම්කිසි සාර්ථකත්වයක් ලබා ප්‍රේක්ෂකාකර්ෂණය දිනා ගත්ත ද, එය විශාල සාර්ථකත්වයක් බවට පත්නොවීය. ඒ අත්‍යාවශ්‍යම මොහොතවල්වල දී නිර්භය ක්‍රිකට් ක්‍රීඩා නොකිරීම හේතුවෙනි.

එක් ක්‍රීඩකයෙකුගේ වරදක් නිසා කණ්ඩායමටම වන්දි ගෙවීමට සිදුවීම කණ්ඩායම් ක්‍රීඩාවක ලක්ෂණයකි. සුපුරුදු පරිදි ප්‍රේක්ෂක සිත් කඩා වැටී තිබිණි. ඇතැමුන් උසුළු විසුළු කළේ “මුන් දන්න ෆියර්ලස් ක්‍රිකට්!” කියා ය.

එහෙත් 2022 IPL තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පස්දෙනෙකු තේරී පත්වීම යම් බලාපොරොත්තුවක් ගොඩනැගුවේය. වනිඳු හසරංග එහි මූලිකයා විය. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (Royal Challengers Bangalore) කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් ඔහුට හිමිව තිබුණි. අනෙකුත් ක්‍රීඩකයන් සිව්දෙනාම නිත්‍ය ස්ථානයක් රහිතව IPL තරගාවලියට එක්වූවන් ය.

භානුක රාජපක්ෂ පන්ජාබ් කිංග්ස් ( Punjab Kings ) කණ්ඩායමටත්, දුෂ්මන්ත චමීර ලක්නව් සුපර් ජයන්ට්ස් ( Lucknow Super Giants ) කණ්ඩායමටත්, මහීෂ් තීක්ෂණ චෙන්නායි සුපර් කිංග්ස් ( Chennai Super Kings ) කණ්ඩායමටත්, චාමික කරුණාරත්න කල්කටා නයිට් රයිඩර්ස් ( Kolkata Knight Riders ) කණ්ඩායමටත් තේරී පත්වුවද බොහෝ දෙනාගේ මතය වූයේ ඔවුන් වැඩි කාලයක් අතිරේක බංකුවල ගත කරනු ඇති බවයි. පසුව සයවැන්නා ලෙස මතීෂ පතිරණ ද චෙන්නායි කණ්ඩායම වෙත ගියේය.

News9.com
27/3ක් වාර්තා කළ මහීෂ් තීක්ෂණ

වනිඳු හසරංග සහ භානුක රාජපක්ෂ සිය පළමු තරගවල දී ම මුහුණට මුහුණ හමු විය. කඩුලු කිහිපයක් දවාගෙන ඉහළ රිද්මයක සිටි වනිඳු හට පමණක් නොව චැලෙන්ජර්ස් පන්දු යැවීමේ බල ඇණියටම ප්‍රහාරයක් එල්ල කරමින් භානුක සාර්ථක විය. එය IPL තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ පළමු වෙඩි මුරයයි.

එතැන් සිට තරග 3කින් දෙකක දී ම වේගවත් ප්‍රහාරක ඉනිම් ක්‍රියාත්මක කිරීමට භානුක සමත් විය. එම දස්කම් නිසා ප්‍රබල එංගලන්ත පිතිකරු ජොනී බෙර්ස්ටෝව් අසාර්ථක වෙමින් සිටින පසුබිමක පන්ජාබ් කණ්ඩායමේ සුපිරිතම ප්‍රහාරකයා වන්නේ භානුක ය. ඒ නිර්භය ක්‍රිකට් ය.

තමන්ට ලද අවස්ථාවල දී කඩුලු දවාගැ නීමට වනිඳු සමත් විය. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින වඩාත් විශ්වාසදායකම සීමිත පන්දුවාර තරග පන්දු යවන්නා ඔහු ය. ඔහු කවදත් ක්‍රීඩා කළේ නිර්භය ක්‍රිකට් ය. වනිඳුත් භානුකත් ශ්‍රී ලංකාවේ නම IPL කරළියේ බබළවද්දී අනෙකුත් ක්‍රීඩකයන් අතිරේක බංකුවටම සීමා වේවිදෝයි සැකයක් විය. මහීෂ් තීක්ෂණ හට සුපර් කිංග්ස් වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ වරම ලැබෙන්නේ එවන් මොහොතක දී ය.

පළමු තරග කිහිපයේ දී කඩුලුත් දවා ගනිමින් අඩු ලකුණුවලට තම පන්දුවාර 4 අවසන් කළ මහීෂ්, පසුගිය දා පැවති චැලෙන්ජර්ස් කණ්ඩායමට එරෙහි තරගයේ 19 වැනි පන්දුවාරය යැවීමට මහේන්ද්‍ර සිං දෝනිගෙන් ඇරයුම් ලැබීය. ඒ පන්දු 26ක දී ලකුණු 42ක් වාර්තා කරගෙන සිටි මහීපාල් ලොම්රෝර් කඩුල්ලේ සිටියදීයි.

එම කඩුල්ලත් ඇතුළුව වනිඳු හසරංගගේ කඩුල්ලත්, ෂබාස් අහමඩ්ගේ කඩුල්ලත් දවා ගනිමින් ඔහු ඔහුගේ අවසන් පන්දුවාරය අවසන් කළේ පන්දුවාර 4 තුළ දී ලකුණු 27කට කඩුලු 3ක් වාර්තා කරමිනි. ඒ ද නිර්භය ක්‍රිකට් ය. මේ වන විට ඔහු සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යුගලයේ නිත්‍ය සාමාජිකයෙකි.

මේ සියල්ල එක් පසකින් සිදුවෙද්දී තරගාවලියේ සාර්ථකම වේගපන්දු යවන්නෙකු ලෙස දුෂ්මන්ත චමීර ඉහළින්ම සිටියි. ඔහුගේ අඩු ලකුණු පන්දුවාර සහ වටිනා මුල්පෙළ කඩුලුවලින් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ජයග්‍රහණ ලබමින් ඉදිරියට ගොස් ඇත. ඔහු විසින් ආරම්භක පන්දු වාර කිහිපයේදී පන්දු යවන ආකාරයත් අවසන් පන්දුවාර කිහිපය යවන ආකාරයත් නරඹන්නට ප්‍රිය ය. චමීර ක්‍රීඩා කරන්නේ ද ” fearless cricket “ ය.

එසේ නම්, මෙවන් දක්ෂතා සහිත ක්‍රීඩකයන් සිටිය දී ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ජයග්‍රහණ සොයා පසුතැවුනේ මන්දැයි අප විමසිය යුතු වේ. ඔවුන්ට මඟ පෙන්වන්නට නිසි පුද්ගලයන් ශ්‍රී ලංකා පුහුණු කාර්යමණ්ඩලය තුළ නොසිටියේ ද යන්න ගැටලුවකි.

මෙම ක්‍රීඩකයන් සියලු දෙනාම ජාත්‍යන්තර ක්‍රීඩකයන් කිසිවෙකුට නොදෙවෙනිව IPL තරගාවලිය තුළ සිය නම් තහවුරු කරගෙන ඇත. තරගයේ වීරයා සම්මාන කිහිපයක්ම ඔවුනතර බෙදී ගොස් ඇත. චාමික කරුණාරත්න සහ මතීෂ පතිරණ පමණක් මෙතෙක් IPLහි “ක්‍රීඩා කරන්නට” අවස්ථාවක් නොලද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ය.

සමෙහි මේද ප්‍රමාණය මත කණ්ඩායමෙන් ඉවත් කරන ලද භානුක රාජපක්ෂ IPLහි ප්‍රහාරාත්මකම පිතිකරුවන් අතර සිටියි. වනිඳු හසරංග තමන්ට සුපුරුදු පරිදි පා දඟපන්දු වගකීම කරට ගෙන සිටියි. අඩු ලකුණු පන්දුවාර පමණක් යවමින් සිටි මහීෂ් තීක්ෂණ කඩුලු ලබා ගන්නා පන්දු යවන්නෙකු බවට පත්ව ඇත.

දුෂ්මන්ත චමීර මීළඟ වසර කිහිපයේ ශ්‍රී ලංකාවේ ඉහළම වේගපන්දු බලාපොරොත්තුව වී ඇත. “IPL තරගාවලිය තුළ දී ඔවුන් ඉහළ දස්කම් දක්වන්නේ මුදලටයි” යන බංකොලොත් ප්‍රකාශය අප දැන්වත් පසෙක හෙලිය යුතුය.

වී බොල් නැත. එහෙත් බොල් නැති වී වුව වැපිරිය යුත්තේ සරු පොළොවක ය. ඒ පොළොව අප විසින් ඉක්මනින්ම නිර්මාණය කර ගත යුතුව ඇත. මේ නිර්භය ක්‍රිකට් ක්‍රීඩකයන් සිව්දෙනාම ලබා දෙන පණිවුඩය එයයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<