ඉන්දීය – එංගලන්ත ටෙස්ට් තරගාවලිය අපේ රටේ පවත්වන්න යෝජනාවක්!

359

2021 වසරේ මුල දී ඉන්දීය – එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සත්කාරකත්වය දැරීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබේ. 

කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දීය – එංගලන්ත ටෙස්ට් තරගාවලිය 2021 වසර දක්වා කල් දැමීමට එම ක්‍රිකට් ආයතන පසුගිය සතියේ දී තීරණය කළේය. එහෙත් ඉන්දියාව තුල පවතින කොරෝනා තත්ත්වය දිනෙන් දින උත්සන්න වන වටපිටාවක් තුල එම තරගාවලිය ඉන්දියාව තුල පැවැත්වීම අවිනිශ්චිතව ඇත. 

එම තත්ත්වය හමුවේ මෙලෙස එම තරගාවලිය සඳහා සත්කාරකත්වය සැපයීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබේ. 

එංගලන්තය ලබන වසර ආරම්භයේ ඉන්දියාවේ දී ටෙස්ට් තරග පහකට සහභාගී වීමට සැලසුම් කර තිබේ. 

කොරෝනා වසංගතය ලොව පුරා පැතිර යාමට ආරම්භ වූයේ මෙම වසරේ මාර්තු මාසයේ දී ය. ඒ වන විට එංගලන්ත ටෙස්ට් කණ්ඩායම ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරයක් සඳහා සහභාගී වීමට මෙරටට පැමිණ සිටියේය. 

කෙසේ වෙතත් උත්සන්න වූ කොරෝනා වසංගත තත්වය හමුවේ තරගාවලිය කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියේ එංගලන්ත කණ්ඩායම එළඹෙන ජනවාරි මාසයේ දී ටෙස්ට් තරග දෙකක් මෙරටට පැමිණි පසු ඉන්දීය තරගාවලිය සඳහා ද මෙරට දී සහභාගී වීමට හැකියාවක් පවතින බවයි. 

The Island පුවත්පත මේ පිළිබඳව වාර්තා කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකෙන් පසුව ඉන්දියාවට එරෙහි තරගාවලිය ද ක්‍රීඩා කිරීම සඳහා එංගලන්තයට මෙරට නැවතී සිටීමේ හැකියාව හැකියාව පිළිබඳව යම්කිසි අදහසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දී ඇති බවයි.

ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා තරග දෙකක් ඇතුළත් වූ අතර එම ටෙස්ට් තරගමාලාවට සහභාගී වීමට මෙරටට පැමිණ සිටි එංගලන්ත කණ්ඩායම කොළඹ සති දෙකක් ගත කළේය. නමුත් ගෝලීය සෞඛ්‍ය අර්බුදය හේතුවෙන් ආපසු සිය රට බලා යාමට ඔවුන්ට සිදු විය.

තවත් ක්‍රිකට් පුවත්:

ඉන්දියාව තුල කොරෝනා වසංගතය පාලනයකින් තොරව පැතිරෙමින් පවතින අතර එළඹෙන සැප්තැම්බර් මාසයේ දී එහි පැවැත්වීමට නියමිතව තිබූ එංගලන්ත සීමිත ඕවර තරගාවලිය ද කල් දැමීමට සිදුව තිබේ. 

මෙම වසංගත තත්වයේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය මාර්තු මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද දෙවතාවක් කල්දැමීමට සංවිධායකයන්ට සිදු විය. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල්දැමීමෙන් අනතුරුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී එළඹෙන සැප්තැම්බර් මස 19 වැනිදා ආරම්භ කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය මේ වන විට සැලසුම් කර තිබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව පිළිබඳව ඉන්දීය පුවත්පතක් වන Hindustan Times ද වාර්තාවක් පලකර තිබූ අතර එහි දැක්වූයේ මේ මොහොතේ එවන් යෝජනාවකට ඉන්දීය ක්‍රිකට් ආයතනය එකඟ නොවනු ඇති බවයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යෝජනාව සම්බන්ධයෙන් එම ආයතනය විසින් විධිමත් යෝජනාවක් ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත යවා ඇති බව තමන් නොදන්නා බව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු PTI වෙත පවසා තිබේ. 

“මේ අවස්ථාවේ දී ඉන්දීය ක්‍රිකට් ආයතනය ඒ වගේ යෝජනාවකට කිසිම විදිහකින් එකඟ වෙන්නේ නැහැ. තරගාවලියට තවත් මාස 4ක් ඉතිරිව තියනවා” එම නිලධාරියා පවසා ඇත. 

කොරෝනා වයිරසය හමුවේ ඉන්දියාවට වඩා ශ්‍රී ලංකාව හොඳ ප්‍රගතියක් ලබා සිටින අතර මේ සතිය මුලදී පාසල් නැවත විවෘත කිරීමට ද රජය තීරණය කළේය. කෙසේ වෙතත් මේ මාසයේ ආරම්භ වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නැවත වරක් කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය. ඒ අනුව එම තරගාවලිය නොවැම්බර් මාසය දක්වා කල් දමා ඇත. 

පසුගිය ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගාවලිය තාවකාලිකව අවලංගු කිරීමට සිදු වූ අතර තත්ත්වය පාලනය වීමෙන් පසුව ඔක්තෝබර් මාසයේ දී එම තරගාවලිය නැවත පැවැත්වීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් සිටී. 

ශ්‍රී ලංකාව තුල මේ වන විට කොරෝනා රෝගීන් 2,888ක් වාර්තා වී ඇති අතර ඉන් 2,666ක් සුවය ලබා ඇත. 

ඉන්දියාව තුල පවතින තත්ත්වය එයට හාත්පසින්ම වෙනස් වන අතර එරට ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 2.5 ද ඉක්මවා ඇත්තේ මරණ 49,000ක් ද ඉක්මවමිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<