LPL තරගාවලියට සෞඛ්‍ය අනුමැතිය අහිමි වෙයි?

ලංකන් ප්‍රිමියර් ලීග් 2020

828

Lanka Premier League තරගාවලියට තවමත් සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය හිමි වී නොමැති බව ThePapare.com වෙත වාර්තා වෙනවා. එම තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙක් ද සහභාගී වීමට නියමිතයි. 

තරගාවලිය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ දින 20ක් පමණයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තවමත් ශ්‍රී ලංකාවට විදේශිකයින් 140 දෙනෙකු ගෙන්වා ගැනීමට අවශ්‍ය වීසා අනුමැතිය හිමිව නැති බව වාර්තා වෙනවා. එම විදේශිකයින් 140ට ක්‍රීඩකයින් මෙන්ම කණ්ඩායම් හිමිකරුවන් හා නිෂ්පාදන කණ්ඩායම් ද අයත්.

තවත් ක්‍රිකට් පුවත්: 

ශ්‍රී ලංකාවට පිවිසෙන සෑම විදෙස් ජාතිකයෙක්ම දින 14ක නිරෝධායන කාලයක් ගත කළ යුතු වන නිසා තරගාවලිය සැලසුම් කළ දිනට ආරම්භ කිරීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ සෞඛ්‍ය අවසර ඉතා ඉක්මනින් ලබා ගත යුතුයි.

කෙසේ වෙතත් දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට නියමිත නිසා LPL තරගාවලිය සතියක් හෝ දෙකක් කල් දමන්නටත් ඉඩකඩක්  නැහැ.

“අපි තරමක් අඳුරේ ඉන්නේ, නිෂ්පාදන කණ්ඩායම් සියල්ල නොවැම්බර් 3 වැනිදා වෙනකොටවත් ශ්‍රී ලංකාව එන්න ඕනේ. තව දින තුනක් විතරයි තියෙන්නේ ඔවුන්ට ලංකාවට එන්නත්. ක්‍රීඩකයින් නොවැම්බර් 7 වැනිදා වෙනකොටවත් එන්න ඕනේ. අපේ බලාපොරොත්තු කඩ වෙලා තියෙන්නේ සෞඛ්‍ය බලධාරීන් මේකට ප්‍රතිචාර දක්වන්නට ඉක්මන් නොවීම ගැන” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු The Sunday Times පුවත්පතට පවසා තිබුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවටත් වඩා COVID-19 වයිරසය දරුණු ලෙස බලපෑ රටවල් කිහිපයක් සාර්ථක ලෙස යළි ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන්නට පසුගිය මාස කිහිපයේ දී සමත් වුනා. එංගලන්තය බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්ත, පාකිස්තාන හා ඕස්ට්‍රේලියානු සංචාර සාර්ථකව පවත්වන්නට සමත් වුනා.

IPL තරගාවලිය ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මේ දිනවල පැවැත්වෙන අතර පසුගිය වසරේ දී පාකිස්තාන හා සිම්බාබ්වේ අතර සීමිත පන්දුවාර තරගාවලියත් පාකිස්තානයේ දී පැවැත්වුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<