CCC තෙවැනි වතාවටත් ශූරතාව දිනා ගනී

SLC Major League Cricket Tournament 2022 - Final

249

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major League ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට CCC කණ්ඩායම සමත් වූවා. කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී අද (20) අවසන් වූ මෙම තරගයේ ප්‍රතිවාදීන් වූයේ ටැමිල් යූනියන් කණ්ඩායමයි.

CCC ක්‍රීඩකයෝ මීට පෙර 2019 වසරේ අශාන් ප්‍රියංජන්ගේ නායකත්වය යටතේ සහ 2020 වසරේ දී කුසල් මෙන්ඩිස්ගේ නායකත්වය යටතේ ද ශූරතාව දිනා ගනිමින් මෙවර ශූරතාවත් සමඟින් පිට පිට තෙවැනි වතාවටත් ශූරයන් වීමට සමත් වීම කැපී පෙනුණා.

අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ටැමිල් යූනියන්  ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 558ක් ලබා ගත් අතර CCC ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 669ක් ලබා ගනිමින් මෙම ජයග්‍රහණය සටහන් කර ගත්තා.

ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ ලත් මෙම පරාජයත් සමඟින් ඔවුන්ට ද සුවිශේෂී වාර්තාවකට හිමිකම් කීමට තිබූ අවස්ථාවක් අහිමි වී ගියා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් පිට පිට සංවිධානය කළ තරගාවලි ත්‍රිත්වයක ශූරතාව දිනා ගැනීමට තිබූ අවස්ථාවයි.

ඔවුන් මේ වසරේ දී පැවැත්වූ Emerging තුන්දින ක්‍රිකට් තරගාවලියේ සේ ම, Major League එක්දින ක්‍රිකට් තරගාවලියේ ද ශූරයන් වී සිටි අතර අවාසනාවන්ත ලෙස මෙම තරගය පරාජය වෙමින් එම අවස්ථාව අහිමි කර ගත්තා.

තරගයේ සිව්වැනි දිනය වූ අද දවසේ දී CCCට ජයග්‍රහණය සඳහා අවශ්‍ය ව තිබුණේ ලකුණු 148ක් පමණයි. ඒ සඳහා ඔවුන් සතුව තවත් කඩුලු 5ක් ඉතිරි ව තිබුණා.

දිනය ආරම්භ වන විට CCC ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 411ක් ලෙස දැක්වෙද්දී අශාන් ප්‍රියංජන් (52*) සහ චමිඳු විජේසිංහ (71*) නොදැවී පිටියේ රැඳී සිටියා.

ජයග්‍රහණය වෙනුවෙන් යන ගමනේ දී දිනයේ පළමු කඩඉමට පිවිසීමට චමිඳු සමත් වුනා. ඔහු තමන් මුහුණ දුන් 162 වැනි පන්දුවේ දී හයේ පහරක් එල්ල කරමින් මෙවර තරග වාරයේ දී ලබා ගන්නා ලද දෙවැනි ශතකය වාර්තා කළා.

අනතුරුව ඒ මග ම ගිය අශාන් ද තමන් මුහුණ දුන් 191 වැනි පන්දුවේ දී ශතක ලකුණ වාර්තා කළා. එය ඔහුගේ 150ක් වන පළමු පෙළ තරග දිවියේ 13 වැනි ශතකයයි. එහෙත් ඊට පසුව යැවුණ පන්දුවේ දී එතෙක් නායකත්වයේ සාර්ථක ඉනිමක් ගොඩ නගමින් සිටි අශාන්, රවිඳු ප්‍රනාන්දුගේ පන්දුවකට දැවී ගියා.

ඒ සමඟම 6 වැනි කඩුල්ලේ සබඳතාව ද බිඳී ගිය අතර අශාන් සහ රවිඳු එක් ව ඒ වෙද්දී ලකුණු 219ක සබඳතාවක් ගොඩ නගා තිබුණා. එය මෙවර තරගාවලියේ මෙම කඩුල්ල සඳහා වන සබඳතා අතර 2 වැනි ස්ථානය ගත්තා.

ඒ වෙද්දී CCC ලකුණු පුවරුව 507ක් වූ අතර ඉන් අනතුරුව පිටියට පිවිසියේ පවන් රත්නායකයි.

දිවා විවේකය සඳහා තරගය නතර කරන විට CCC ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 525ක් ව තිබූ අතර ඒ වෙද්දී චමිඳු විජේසිංහ තව දුරටත් කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ලකුණු 126 නතර වී සිටි අතර පවන් රත්නායක ලකුණු 10ක් ලබා සිටියා.

දිවා විවේකයෙන් පසුව යැවුණ 7 වැනි පන්දුවාරයේ දී චමිඳුගේ ඉනිම ද නිමා කිරීමට ටැමිල් යූනියන්  ක්‍රීඩකයෝ සමත් වුනා. චමිඳු ඒ වෙද්දී පන්දු 246කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 139ක් ලබා සිටියා. එය ඔහු මෙවර තරගාවලියේ වාර්තා කරන ලද දෙවැනි ශතකය වූ අතර මෙම ඉනිම චමිඳුගේ 15ක් වූ පළමු පෙළ තරගවල හොඳම ඉනිමයි.

අනතුරුව පිටියට පිවිසි මාලින්ද පුෂ්පකුමාර තමන් මුහුණ දුන් 8 වැනි සහ 9 වැනි පන්දුවලට පිට පිට හතරේ පහර 2ක් එල්ල කරමින් ටැමිල් යූනියන්  ලකුණු පුවරුව අභිබවා යෑමට සැලැස්වූවා. ඔහු ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස දැවී යද්දී පන්දු 23කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා සිටියා.

තරගයේ වෙනත් තීරණාත්මක අවස්ථා නොමැති වීමත් සමඟින් රිසි සේ පන්දුවට පහර දුන් පවන් පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 85ක් වාර්තා කළා.

CCC ඉනිම අවසන් වන වෙද්දී ලක්ෂාන් සඳකැන් ලකුණු 24ක් ලබා සිටි අතර විශ්ව ප්‍රනාන්දු කිසිදු ලකුණක් නොලබා නොදැවී සිටියා.

පන්දු යැවීමේ දී පෙර දින ලකුණු 81කට කඩුලු 3ක් ලබා ගෙන සිටි දකුණතින් පිට දඟපන්දු යවන රවිඳු ප්‍රනාන්දු අද තවත් කඩුලු 3ක් දවා ගනිමින් ලකුණු 160කට කඩුලු 6ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. එය ඔහුගේ පළමු පෙළ තරග 14ක හොඳම පන්දු යැවීමයි. ඊට අමතර ව ශිරාන් ප්‍රනාන්දු, කවිඳු පතිරත්න, දිලුම් සුදීර සහ නවෝද් පරණවිතාන කඩුල්ල බැගින් බෙදා ගත්තා.

පළමු ඉනිමේ පරාජයත් සමඟින් ලකුණු 111ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට නැවත පිටියට පිවිසි ටැමිල් යූනියන්  ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 145ක් ලබා සිටියා.

පළමු ඉනිමේ සේ ම දෙවැනි ඉනිමේ දී ද නවෝද් පරණවිතාන සහ සදීර සමරවික්‍රම ඉනිම ආරම්භ කළ ද ඔවුන්ගේ සබඳතාව පන්දු 8කට පමණක් සීමා වුනා. නවෝද් පන්දු 7කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා සිටිය දී දැවී ගියා.

අනතුරුව කඩුල්ලේ දී සදීර සහ රවිඳු ප්‍රනාන්දු ටැමිල් යූනියන්  ඉනිමට ලකුණු 99ක සබඳතාවක් එක් කළා. ඒ වෙනුවෙන් ඔවුන් වැය කළේ පන්දු 67ක් පමණයි. සදීර පන්දු 37කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින්  ලකුණු 43කට දැවී ගියේ මෙවර තරගාවලියේ දී ලකුණු 1000ක් ඉක්ම වූ පිතිකරුවන් අතර තෙවැනියා බවට පත් වෙමින්.

එම ලැයිස්තුවේ පළමු ස්ථානය ලකුණු 1229ක් ලබා ගත් රාගම ක්‍රිකට් සමාජයේ නිශාන් මධුශ්ක සතු වූ අතර දෙවැනි ස්ථානය ලකුණු 1091ක් ලබා ගත් මූවර්ස් ක්‍රීඩා සමාජයේ පසිඳු සූරියබණ්ඩාර සතු වුනා. සදීර ලබා ගත් ලකුණු සංඛ්‍යාව 1022ක්.

සදීරගේ දැවී යෑමෙන් අනතුරුව යැවුණ සිව්වැනි පන්දුවේ දී රවිඳුගේ ගමන ද නතර වුනා. ඔහු පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තා. එය මෙවර තරගාවලියේ ඔහු විසින් වාර්තා කරන ලද 5 වැනි අර්ධ ශතකයයි.

ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසින් ශිරාන් ප්‍රනාන්දු ලකුණු 28කට දැවී ගිය අතර තරගය නතර කරන විට සංතුශ් ගුණතිලක ලකුණු 2ක් ලබා පිටියේ නොදැවී රැඳී සිටියා.

කඩුලු දවා ගැනීමේ දී සොනාල් දිනූෂ ලකුණු 52කට කඩුලු 2ක් දවා ගත් අතර නිමේෂ ගුණසිංහ සහ කමිඳු මෙන්ඩිස් කඩුල්ල බැගින් දවා ගත්තා.

  • ටැමිල් යූනියන් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 558 (135.2) නවොද් පරණවිතාන 54, සදීර සමරවික්‍රම 188, රොන් චන්ද්‍රගුප්ත 48, දිලුම් සුදීර 32, රවිඳු ප්‍රනාන්දු 45, ඉසුරු උදාන 88, කවිඳු පතිරත්න 46, විශ්ව ප්‍රනාන්දු 4/102, ලක්ෂාන් සඳකැන් 4/128
  • CCC – පළමු ඉනිම (තෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 107කදී කඩුලු 5ක් දැවී 411) සියලුම දෙනා දැවී 669 (172.5) නිමේෂ ගුණසිංහ 33, මිනෝද් භානුක 75, කමිඳු මෙන්ඩිස් 105, ලසිත් අබේරත්න 48, අශාන් ප්‍රියංජන් 100, චමිඳු විජේසිංහ 139, පවන් රත්නායක 85, මාලින්ද පුෂ්පකුමාර 27, ලක්ෂාන් සඳකැන් 24, රවිඳු ප්‍රනාන්දු 6/160
  • ටැමිල් යූනියන් – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 145 (15.5) සදීර සමරවික්‍රම 43, රවිඳු ප්‍රනාන්දු 56, ශිරාන් ප්‍රනාන්දු 28, සොනාල් දිනූෂ 2/52

අවසන් මහ තරගයේ වීරයා – චමිදු විජේසිංහ (CCC)

  • දක්ෂතම පන්දු යවන්නා – කෞමාල් නානායක්කාර (යුද හමුදාව)
  • දක්ෂතම පිතිකරු – පසිඳු සූරියබණ්ඩාර (මුවර්ස්)
  • තරගාවලියේ වීරයා – නිශාන් මධුෂ්ක (රාගම)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<