සදීරගෙන් වික්‍රමාන්විත ඉනිමක්

SLC Major League Cricket Tournament 2022 - Final

266

සදීර සමරවික්‍රමගේ වික්‍රමාන්තවිත පිතිහරඹය හේතුවෙන් කොළඹ 7, සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී අද (17) ආරම්භ වූ  Major League ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු දිනය ගෞරවාන්විතව නිමා කිරීමට ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ සමත් වුනා. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ CCC කණ්ඩායමයි.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට නායක සදීර සමරවික්‍රමගේ ද්විත්ව ශතකයකට ආසන්න ඉනිමක් සමඟින් කඩුලු 5ක් දැවී ලකුණු 356ක් ලබා සිටියා.

සදීර අද තම ඉනිම වෙනුවෙන් ලකුණු 188ක් ලබා ගත් අතර එය ඔහුගේ 75කින් යුත් පළමු පෙළ තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වූවා. එය ඔහු විසින් මෙවර තරගාවලියේ දී වාර්තා කරන ලද සිව්වැනි ශතකයයි.

ඔහුගේ මෙම ඉනිමත් සමඟින් මේ වෙද්දී තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ පිතිකරු ලැයිස්තුවේ තෙවැනි ස්ථානය දක්වා උසස් වීමට ද ඔහු සමත් වුනා. ඔහු මෙම තරගයට සහභාගී වන විට එම ලැයිස්තුවේ ස්ථානගත ව සිටියේ 6 වැන්නේයි.

  • ටැමිල් යූනියන් කණ්ඩායම: නවෝද් පරණවිතාන, සදීර සමරවික්‍රම (නායක සහ කඩුලු රකින්නා), රොන් චන්ද්‍රගුප්ත, සංතුශ් ගුණතිලක, කමේෂ් නිර්මාල්, දිලුම් සුදීර, ඉසුරු උදාන, රවිඳු ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, කවිඳු පතිරත්ත සහ ශිරාන් ප්‍රනාන්දු.
  • CCC කණ්ඩායම: අශාන් ප්‍රියංජන් (නායක), මිනෝද් භානුක (කඩුලු රකින්නා), කමිඳු මෙන්ඩිස්, චමිඳු විජේසිංහ, ලසිත් අබේරත්න, නිමේෂ් ගුණසිංහ, පවන් රත්නායක, සොනාල් දිනූෂ, විශ්ව ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන් සහ මාලින්ද පුෂ්පකුමාර

ඉනිම ආරම්භයේ සිට ම CCC කණ්ඩායමේ සියලු සැලසුම් විනාශ කර දැමීමට ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනා. ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් වූ නවෝද් පරණවිතාන සහ සදීර එක්ව තම පළමු කඩුල්ලට ශක්තිමත් සබඳතාවක් එක් කළා. එම සබඳතාව බිඳ දැමීමට CCC නායකයා පන්දු යවන්නෝ සිවු දෙනෙක් ම උපයෝගී කර ගත්ත ද, ඔවුන් අතර වූ ශතක සබඳතාව වළක්වා ගැනීමට හැකි වූයේ නැහැ.

අවසානයේ ඉනිමේ 25 වැනි පන්දුවාරයේ දී නවෝද් පරණවිතාන විසින් විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකට නිමේෂ ගුණසිංහ වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යද්දී, පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 103ක් වී තිබුණා. ඒ වෙද්දී නවෝද් පන්දු 70කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 54ක් ලබා සිටියා.

නවෝද් මෙම තරගයේ දී තමන් මුහුණ දුන් 64 වැනි පන්දුවේ දී අර්ධ ශතකය ලබා ගත් අතර එය මෙවර තරගාවලියේ 5 වැනි අර්ධ ශතකය වූ අතර තම පළමු පෙළ තරග 17ක 7 වැනි අර්ධ ශතකයයි.

ඊට පසුව යැවුණ පන්දුවාරය අවසානයේ දී දිවා විවේකය සඳහා තරගය නතර කෙරුණ අතර ඒ වෙද්දී ටැමිල් යූනියන් ලකුණු පුවරුව පන්දුවාර 26ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 110ක් ලෙසින් සටහන් වුනා. ඒ වෙද්දී සදීර නොදැවී ලකුණු 45ක් ලබා සිටි අතර නවක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත නොදැවී ලකුණු 6ක් ලබා සිටියා.

දිවා විවේකයෙන් පසුව යැවුණ 10 වැනි පන්දුවේ දී සදීර තම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුනා. ඒ වෙද්දී ඔහු ඊට වැය කර තිබුණේ පන්දු 87ක් පමණයි. අනතුරුව සදීර තමන් විසින් මුහුණ දුන් 147 වැනි පන්දුවේ දී තම පළමු පෙළ 12 වැනි පළමු පෙළ ශතකය වාර්තා කළා.

තේ විවේකය සඳහා තරගය නතර කරන විටත් ඔවුන් දෙදෙනා එකිනෙකාගේ කඩුලු ආරක්ෂා කර ගනිමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළා. ඒ වෙද්දී ලකුණු පුවරුව ක්‍රියාත්මක වූයේ කඩුල්ලක් දැවී ලකුණු 228ක් ලෙසයි.

තේ විවේකයෙන් පසුව යැවුණ දෙවැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී රොන්, මාලින්ද පුෂ්පකුමාරගේ පන්දුවකට කමිඳු මෙන්ඩිස් වෙතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියා. ඒ වෙද්දී ඔහු පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 48ක් ලබා සිටියා.

සදීර සහ රොන් අතර දෙවැනි කඩුල්ලට සබඳතාව ලකුණු 130ක්. අනතුරුව සංතුශ් ගුණතිලක සඟෙ එක් වෙමින් සදීර තම ඉනිමේ 150 වැනි ලකුණ වාර්තා කළා. ඒ තමන් මුහුණ දුන් 208 වැනි පන්දුවේ දී.

තෙවැනි කඩුල්ල ලෙසින් සංතුශ් ලකුණු 15ක් ලබා සිටිය දී ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවකට මිනෝද් භානුක අතට උඩ පන්දුවක් දී දැවී යන විට ටැමිල් ඉනිම ලකුණු 281ක් ව තිබුණා. අනතුරුව කමේෂ් නිර්මාල්ගේ (16) කඩුල්ල ද දවා ගැනීමට සඳකැන් සමත් වූ අතර එවර ඒ වෙනුවෙන් ඔහුට උදව් කළේ මාලින්ද පුෂ්පකුමාරයි.

ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසින් එතෙක් වේලා දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කළ සදීර දැවී යද්දී ටැමිල් යූනියන් ලකුණු පුවරුව 337ක් ව පැවතියා. විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවකට කඩුල්ල පිටුපස සිට මිනෝද් භානුක උඩ පන්දුව රැක ගන්නා විට ඔහු ලකුණු 188ක් ලබා සිටියා. පන්දු 243කින් සමන්විත වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 18ක් සහ හයේ පහරක් ඇතුලත් ව තිබුණා.

තරගය අයහපත් ආලෝක තත්ත්වය මත නතර කරන විට දිලුම් සුදීර ලකුණු 10ක් සහ රවිඳු ප්‍රනාන්දු ලකුණු 14ක් ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටියා.

පන්දු යැවීමේ දී වමතින් වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු සහ වමතින් දඟපන්දු යවන ලක්ෂාන් සඳකැන් කඩුලු 2 බැගින් දවා ගනිද්දී මාලින්ද පුෂ්පකුමාරට එක් කඩුල්ලක් හිමි වුනා.

තරගය හෙට (18) දෙවැනි දිනයටත් ක්‍රියාත්මකයි.

ලකුණු පුවරුව:

ටැමිල් යූනියන් – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 356 (84) නවොද් පරණවිතාන 54, සදීර සමරවික්‍රම 188, රොන් චන්ද්‍රගුප්ත 48, විශ්ව ප්‍රනාන්දු 2/77, ලක්ෂාන් සඳකැන් 2/47

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<