මිනොද් සහ කමිඳු නොපසුබස්නා උත්සාහයක

SLC Major League Cricket Tournament 2022 - Final

717

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දෙවැනි දිනය වූ අද (18) දවස නිමාවේ දී තම පළමු ඉනිමට ක්‍රීඩා කරන CCC ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 149ක් ලබා සිටියා.

පෙර දින තරගය නතර කරන විට ටැමිල් යුනියන් ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 356ක් ලබා සිටි අතර අද ඔවුන් තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 558ක් ලබා ගත්තා.

එය ටැමිල් යුනියන් ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ දී වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව වූ අතර තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් කණ්ඩායම් අතර 2 වැනි ස්ථානයට පත් ඉනිම ද වූවා.

ටැමිල් යුනියන් ඉනිමේ දිනයේ පළමුවෙන් ම දැවී ගියේ රවිඳු ප්‍රනාන්දුයි. පන්දු 50ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 45ක් ලබා සිටි රවිඳු දැවී යන විට දිලුම් සුදීර හා එක් ව 6 වැනි කඩුල්ලට ලකුණු 65ක් එක් කර තිබුණා. ඒ වෙද්දී ටැමිල් යුනියන් ඉනිම ලකුණු 402ක් ව තිබුණා.

එම කඩුල්ලෙන් අනතුරුව දිලුම් හා එක් වූ ඉසුරු උදාන 7 වැනි කඩුල්ලට තවත් අර්ධ ශතක සබඳතාවක් ගොඩ නැගුවා. දිලුම් පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහරක් සමගින් ලකුණු 32ක් ලබා සිටිය දී ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවකට ගොදුරු වූවා. ඒ සමගින් තරගය දිවා විවේකය සඳහා නතර කෙරුණ අතර ටැමිල් ලකුණු පුවරුව කඩුලු 7කට ලකුණු 472ක් දක්වා ඉහළ ගොස් තිබුණා. පිටියේ නොදැවී රැදී සිටි ඉසුරු ලබා සිටි ලකුණු ප්‍රමාණය 61ක්.

අනතුරුව ඉසුරු හා පිටියට එක් වූයේ කවිඳු පතිරත්නයි. ඔවුන් දෙදෙනා එක් ව ටැමිල් යුනියන් ලකුණු පුවරුව 500 සීමාව පසු කර යෑමට සමත් වුනා. 8 වැනි කඩුල්ලට ලකුණු 53ක් එක් කර සිටිය දී එතෙක් පසු පෙළින් හිසරදයක් වෙමින් සිටි ඉසුරු උදාන පිටියෙන් ඉවත් කිරීමට විශ්ව ප්‍රනාන්දු සහ කඩුලු රැකි ක්‍රීඩක පවන් රත්නායක සමත් වුනා.

ඉසුරු පන්දු 72කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 88ක් ලබා සිටි අතර එය ඔහු මෙම තරගවාරයේ දී වාර්තා කරන ලද පළමු අර්ධ ශතකයයි.

අනතුරුව කඩුලු දෙකේ දී ශිරාන් ප්‍රනාන්දු ලකුණු 3කට දැවී ගිය අතර අවසන් පිතිකරු ලෙසින් කවිඳු පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමගින් ලකුණු 46ක් ලබා සිටිය දී දැවී ගියා. ඒ සමග ම තරගය සවස තේ පානය සඳහා නතර කෙරුණ අතර ටැමිල් යුනියන් ඉනිමේ නොදැවී පිටියේ රැදී සිටි ජෙෆ්රි වැන්ඩර්සේ ලබා සිටි ලකුණු ප්‍රමාණය 3ක්.

කඩුලු බිඳ දැමීමේ දී පෙර දිනයේ කඩුලු 2 බැගින් බෙදා ගත් විශ්ව ප්‍රනාන්දු සහ ලක්ෂාන් සඳකැන් අද දිනයේ ද කඩුලු 2 බැගින් බෙදා ගත් අතර ඊට අමතර ව අද දවසේ දැවී ගිය අනෙක් කඩුල්ලේ හිමිකාරීත්වය චමිඳු විජේසිංහ සතු වුනා.

ඒ අනුව විශ්ව ලකුණු 102කට කඩුලු 4ක් සහ සඳකැන් ලකුණු 128කට කඩුලු 4ක් බැගින් දවා ගත්තා.

තේ විවේකයෙන් අනතුරුව පිටියට පිවිසි CCC ඉනිම නිමේෂ් ගුණසිංහ සහ සොනාල් දිනූෂ විසින් ආරම්භ කළා. දැවැන්ත ඉලක්කයක් හමුවේ ඔවුන්ගේ උත්සාහයන් පන්දුවාර 3කට පමණක් සීමා කිරීමට ටැමිල් යුනියන් පන්දු යවන්නෝ සමත් වූවා. ඔවුන්ගේ පළමු ගොදුර බවට සොනාල් (4) පත් වුනා.

ලකුණු 8 දී අහිමි වූ එම කඩුල්ලෙන් අනතුරුව මිනෝද් භානුක පිටියට පිවිසියා. සුපුරුදු රිද්මයෙන් පන්දුවට පහර දුන් මිනෝද් එතැන් සිට තරගයේ පාලනය සියතට ගත්තා. නමුත් CCC ඉනිමට ලකුණු 80ක් වෙද්දී නිමේෂ් ගේ ගමන නිමා කිරීමට කවිඳු පතිරත්න සහ කමේෂ් නිර්මාල් සමත් වුනා. නිමේෂ් පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමගින් ලකුණු 33ක් ලබා සිටියා.

එතැන් සිට තරග පිටිය වඩාත් උණුසුම් කරමින් මිනෝද් සහ කමිඳු මෙන්ඩිස් තවත් දවසකට බලාපොරොත්තු එක් කරමින් දිනය අවසන් වන තෙක් ප්‍රතිවාදීන්ට මුහුණ දුන්නා. අඳුරු කාලගුණ තත්ත්වය මත තරගය නතර කරද්දී මිනෝද් භානුක පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 72ක් ලබා සිටි අතර කමිඳු මෙන්ඩිස් පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමගින් නොදැවී ලකුණු 31ක් ලබා සිටියා.

CCC ඉනිමේ දැවී ගිය කඩුලු 2 හිමිකාරීත්වය දකුණතින් වේග පන්දු යවන්නන් වූ ශිරාන් ප්‍රනාන්දු සහ කවිඳු පතිරත්න සතු වූවා.

තරගය තෙවැනි දිනටත් හෙට (19) ක්‍රියාත්මකයි.

ලකුණු පුවරුව :

ටැමිල් යුනියන් – පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 84.0ක දී කඩුලු 5ක් දැවී 356) සියලුම දෙනා දැවී 558 (135.2) නවොද් පරණවිතාන 54, සදීර සමරවික්‍රම 188, රොන් චන්ද්‍රගුප්ත 48, දිලුම් සුදීර 32, රවිඳු ප්‍රනාන්දු 45, ඉසුරු උදාන 88, කවිඳු පතිරත්න 46, විශ්ව ප්‍රනාන්දු 4/102, ලක්ෂාන් සඳකැන් 4/128

CCC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 149 (29) නිමේෂ ගුණසිංහ 33, මිනෝද් භානුක නොදැවී 72, කමිඳු මෙන්ඩිස් නොදැවී 31