මූවර්ස් – රාගම යෞවනයන් ගැටෙන අවසන් සටනට පෙර

SLC Major Clubs U23 Tournament 2023

727

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ අවසන් මහා තරගය මේ මස 21 සහ 22 දෙදින කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගය සඳහා මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය සුදුසුකම් ලබා සිටින අතර මූවර්ස් අවසන් පූර්ව තරගයේ දී කොළඹ SSC කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගනිමින් ද, රාගම ක්‍රිකට් සමාජය අවසන් පූර්ව තරගයේ දී ටැමිල් යූනියන් කණ්ඩායම පරාජය කරමින් ද මෙම අවස්ථාව උදා කර ගත්තා.

තරගාවලියේ මෙතෙක් ගමන් මග
මූවර්ස් ක්‍රීඩා සමාජය   රාගම ක්‍රිකට් සමාජය
1 හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක්. 1 CCC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්.
2 BRC කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක්. 2 කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට එරෙහිව ඉනිමක සහ ලකුණු 31ක ජයක්.
3 බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව ඉනිමක සහ ලකුණු 71ක ජයක්. 3 බදුරලිය ක්‍රිකට් සමාජයට එරෙහිව ඉනිමක සහ ලකුණු 6ක ජයක්.
4 කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක්. 4 මීගමුව ක්‍රිකට් සමාජයට එරෙහිව පළමු ඉනිමේ ජයක්
5 පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව පළමු ඉනිමේ ජයක්
අවසන් පූර්ව තරගය
5 SSC කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක්. 6 ටැමිල් යූනියන් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක්.

මූවර්ස් ක්‍රීඩා සමාජය

මෙවර තරගාවලියේ මෙතෙක් ආ ගමනේ දී අපරාජිත කණ්ඩායම වන්නේ මූවර්ස් කණ්ඩායමයි. ඔවුන් අවසන් පූර්ව තරගයත් සමඟින් තරග 5කට මුහුණ දී ඇති අතර ඉන් සම්පූර්ණ ජයග්‍රහණයක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 4ක් දිනා ගැනීමට සමත් වෙනවා.

ඒ ආ ගමනේ දී මූවර්ස් වෙනුවෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් අතරින් පළමුවෙන් ම කියැවෙන්නේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ ඉම්තියාස් ස්ලාෂාගේ නමයි. ඔහු මෙම තරගාවලියේ දී තරග 5කට සහභාගී වෙමින් පිතිකරුවෙක් ලෙසින් ඉනිම් 6ක දී ලකුණු 192ක් ලබා සිටින අතර දකුණතින් පිට දඟපන්දු යවමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 23ක්.

කණ්ඩායමේ එක ම ශතකලාභියා ද වන ඔහු BRC කණ්ඩායමට එරෙහිව පන්දු 95ක දී නොදැවී ලකුණු 103ක් ලබා ගන්නවා. පන්දු යැවීමේ දී හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 85කට කඩුලු 6ක් සහ අවසන් පූර්ව තරගයේ දී නැවත දක්ෂතා අතරට පිවිසෙමින් SSC කණ්ඩායමට එරෙහිව ලකුණු 93කට කඩුලු 5ක් දවා ගන්නවා.

කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ ජනිශ්ක පෙරේරා. ඔහු ඉනිම් 7ක දී වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාව 266ක්. ඊට බ්ලූම්ෆීල්ඩ් සහ SSC කණ්ඩායම්වලට එරෙහිව ලබා ගන්නා ලද අර්ධ ශතක 2ක් ද ඇතුළත්.

කණ්ඩායමේ උපනායක දිනුක ඩිල්ශාන් ඉනිම් 7ක දී ලකුණු 248ක් ලබා ගනිමින් පිතිකරු ලැයිස්තුවේ දෙවැනි අසුන වෙන්කර ගන්නවා. ඔහුගේ ඉනිම් අතර බ්ලූම්ෆීල්ඩ්, හලාවත මේරියන්ස් සහ කෝල්ට්ස් කණ්ඩායම්වලට එරෙහිව ලබා ගත් අර්ධ ශතක 3ක් ඇතුළත්.

තරගාවලියේ ඉනිම් 4කට පමණක් පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසි ඔමේෂ් මෙන්ඩිස් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 174ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයට පත්ව සිටිනවා.

අනතුරුව පිතිකරු ලැයිස්තුවට එක් වෙන්නේ නායක මොහොමඩ් ශමාස්. ඔහු තරග 3ක ඉනිම් 4ක දී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව ලබා ගත් අර්ධ ශතකයත් සමඟින් ලකුණු 151ක් ලබා සිටිනවා.

ඊට අමතර ව ශකූර් රස්නි ලකුණු 149ක් සහ රිසිර වීරසූරිය ලකුණු 148ක් ලබා ගනිමින් විශ්වාසවන්ත පිතිකරුවන් ලෙසින් මුවර්ස් කණ්ඩායමේ ලැයිස්තුගතව සිටිනවා.

මූවර්ස් පිතිකරු ලැයිස්තුව එසේ හැඩ වෙද්දී පන්දු යවන්නන් අතරින් වඩාත් විශ්වාසවන්ත ම පන්දු යවන්නා වී ඇත්තේ වමතින් දඟපන්දු යවන තීසාන් විතුසාන්. ඔහු මේ දක්වා කඩුලු 29ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ පළමු අසුන හිමිකර ගෙන සිටිනවා.

මූවර්ස් ක්‍රීඩා සමාජ ක්‍රිකට් සංචිතය: මොහොමඩ් ශමාෂ් (නායක), දිනුක ඩිල්ශාන්, ඔමේෂ් මෙන්ඩිස්, ඉම්තියාස් ස්ලාෂා, ජනිශ්ක පෙරේරා, රිසිර වීරසූරිය, ශාකූර් රෂ්නි, තීසාන් විතුසාන්, රෂීන් රම්ලාන්, දේශාන් ගමගේ, යසිත අයාශාන්, සිසිත මදනායක, සොහාන් ද ලිවේරා, රංජිත්කුමාර් නිව්ටන්, පැතුම් මලිත්, උපේන්ද්‍ර වර්ණකුලසූරිය, අශේන් සල්ගාදු, අබ්දුල් මජීඩ්, මොහොමඩ් යුසුෆ්, නවෝද්‍ය විජයකුමාර, ශවීන් හත්වැල්ල, ජේශන් චාල්ස්, තිසර සචින්තන, පුලිඳු පෙරේරා.

නිලධාරීන්: මොහොමඩ් නව්රූස් (කළමනාකරු), චාමර කපුගෙදර (ප්‍රධාන පුහුණුකරු) ඩී.එච්. මොහොමඩ් (සහාය පුහුණුකරු), අයන සිරිවර්ධන (සහාය පුහුණුකරු), කවිඳු කුලසේකර (සහාය පුහුණුකරු), ෆර්නාස් නවාස් (Strengthen Coach), ශාලික රාජපක්ෂ (සම්භාහක), ජගත් ප්‍රේමචන්ද්‍ර (ලකුණු සටහන්කරු)

රාගම ක්‍රිකට් සමාජය

රාගම ක්‍රිකට් සමාජය මෙවර තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන්නේ අවසන් පූර්ව තරගය ද ඇතුලුව තරග 6කට සහභාගී වෙමින් පළමු වටයේ පළමු තරගයේ දී ම CCC ඉදිරියේ ලත් පළමු ඉනිමේ පරාජයක් ද සමඟින්.

ඔවුන් මෙතෙක් ආ ගමනේ දී කණ්ඩායම වෙනුවෙන් වඩාත් විශ්වාසවන්ත ක්‍රීඩකයා ලෙසින් තහවුරු ව සිටින්නේ නායක ඩෙලෝන් පීරිස්. ඔහු මේ දක්වා අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 191ක් සහ වමතින් දඟපන්දු යවමින් කඩුලු 29ක් ලබා ගනිමින් තම කණ්ඩායමේ මෙතෙක් ආ ගමනේ ප්‍රධානියා වී සිටිනවා.

ඒ කෙසේවෙතත් වඩාත් දක්ෂතා දැක්වූ පිතිකරු ලැයිස්තුවේ පළමු අසුන වෙන්කර ගෙන සිටින්නේ වමත් පිතිකරු රන්මිත් ජයසේන. ඔහු මේ දක්වා තරග 6ක ඉනිම් 7ක දී ලකුණු 338ක් ලබා සිටිනවා. ඔහුගේ ලකුණු අතර අවසන් පූර්ව තරගයේ දී වාර්තා කරන ලද ශතකයත් සමඟින් තවත් අර්ධ ශතක 2ක් ද ඇතුළත්.

එහි දෙවැනි ස්ථානය ද වෙන්කර ගන්නේ වමත් පිතිකරුවෙක් වීම විශේෂයි. ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 331ක් ලබා ගත් යොහාන් ලියනගේ එම ස්ථානය තහවුරු කරගෙන සිටිනවා.

එහි තෙවැනි ස්ථානය ලකුණු 218ක් ලබා සිටින දුලාජ් බණ්ඩාර සතු වෙනවා. කණ්ඩායමේ තවත් වමත් පිතිකරුවෙක් වන තෙවිඳු දික්වැල්ල ද ලකුණු 179ක් ලබා ගනිමින් පිතිකරු ලැයිස්තුවේ කැපී පෙණෙන්නෙක් බවට පත් ව සිටිනවා.

පන්දු යැවීමේ දී  කල්හාර සේනාරත්න කඩුලු 19ක්, අශාන් ප්‍රනාන්දු කඩුලු 11ක් සහ ශෂික දුල්ශාන් කඩුලු 10ක් ලබා ගනිමින් රාගම කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් බවට පත් ව සිටිනවා.

රාගම ක්‍රිකට් සමාජ ක්‍රිකට් සංචිතය: ඩෙලෝන් පීරිස් (නායක) යොහාන් ලියනගේ, තෙවිඳු දික්වැල්ල, දුලාජ් බණ්ඩාර, අවිශ්ක තරිඳු, ලහිරු දෙවටගේ, රන්මිත් ජයසේන, චමත් ගෝමස්, කල්හාර සේනාරත්න, ශෂික දුල්ශාන්, එශාන් මාලිංග, නුශාල් ධර්මරත්න, අශාන් ප්‍රනාන්දු, නිපුන් මාලිංග, තරූෂ් දමිඳු, ලකිඳු සචින්, උනෙත් පීරිස්, කවීෂ දුලාංජන, චමත් යටවර, ප්‍රශාන් සිල්වා, චිරාන් නෙත්තරු, දිලූෂ සමරසේකර, මනීන්ද්‍ර ජයතිලක, කුෂාන් මාලින්ද, ඔෂාන් විරංජන්, සඳුශ්ක සේනාරත්න.

නිලධාරීන්: හිරාන් ගුණසේකර (කළමණාකරු), තාමර අබේරත්න (ප්‍රධාන පුහුණුකරු), අශාන් සිල්වා (සහාය පුහුණුකරු), ලක්ෂාන් හේවගේ (සහාය පුහුණුකරු), තිල්ශාන් කාවින්ද (සහාය පුහුණුකරු), චන්දුල ලක්මාල් (Trainer), පුබුදු ප්‍රසාද් (සම්භාහක), ලලින් ප්‍රේමරත්න (ලකුණු සටහන්කරු)

කණ්ඩායම් දෙක ම පෑ මෙම දක්ෂතා අනුව හෙට (21) ආරම්භ වන අවසන් මහා තරගය වඩාත් උණුසුම් වනු ඇතැයි විශ්වාස කළ හැකියි. කණ්ඩායම් 2 ම මෙම තරගයේ දී වැඩි පිතිකරුවන් පිරිසකගෙන් සහ දඟපන්දු යවන්නන් වැඩි පිරිසකගේ උපකාරීත්වයෙන් තරගයේ ජයග්‍රහණය සොයා යනු ඇත.

ඒ අනුව එහි දී ජයග්‍රහණය ලබන්නේ අපරාජිතව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් මූවර්ස් ක්‍රීඩකයෝ ද, එසේත් නොමැති නම් පළමු වටයේ දී ලත් එක් පරාජයක් සමඟින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් රාගම ක්‍රීඩකයෝ ද යන්න තීරණය කෙරෙනු ඇත.

වයස අවුරුදු 23න් පහළ යොවුන් ශූරතාවය දිනා ගැනීම වෙනුවෙන් මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර පැවැත්වෙන අවසන් තරගයට ThePapare.com හී සුබ පැතුම්!

තරගාවලියේ උණුසුම් පුවත් සමඟ රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<