රියල් මැඩ්රීඩ් සමඟ පාපන්දු කඳවුරක් කොළඹදී

358
YKK ASIA Group Kids Football Clinic

YKK සමාගම විසින් ශ්‍රී ලාංකීය දරුවන් සඳහා අගෝස්තු මස 26 (අද), 27, 28 තෙදින පුරා පාපන්දු පුහුණු කඳවුරක් කොළඹ ජාත්‍යන්තර තුරඟ තරඟ පිටියේදී පැවැත්වීමට සංවිධානය කර ඇත. YKK Holding Asia PTE (YHA) සමාගම හා YKK ලංකා සමාගම එක්ව රියල් මැඩ්රිඩ් පදනමේ දායකත්වය ඇතිව “YKK ASIA Group Kids Football Clinic“ යන නමින් මෙය පැවැත්වේ.

පසුගිය ලිපි: පාපන්දුව අවුල් ජාලයක: සුපර් 8 කල් යයි

දින 3ක මෙම පුහුණු කඳවුරේ පළමු දිනය මෙරට සිටින පාපන්දු පුහුණුකරුවන් වෙනුවෙන් වෙන්කොට ඇත. රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ පුහුණුකරුවන් වන Mr. Pablo Gomez Revenga, Mr. Javier Garcia Torres හා Mr. Jaime Torcal Cano යන පුහුණුකරුවන් විසින් මෙය මෙහෙයවනු ලැබේ. මෙහිදී ලාංකික පුහුණුකරුවන් සඳහා පාපන්දු තාක්ෂණය වර්ධනය කිරීමට හා පුහුණු ක්‍රමවේද වර්ධනය කිරීමට නියමිතව ඇත. මේ සඳහා මෙරට පුහුණුකරුවන් තෝරාගෙන ඇත්තේ ශ්‍රී ලංකා පාපන්දු සංගමය විසින් වන අතර එයට විවිධ පාසල් කිහිපයකම පුහුණුකරුවන් ද ඇතුළත් කර ඇත.

මෙම කඳවුරේ දෙවන හා තෙවන දිනයන් වලදී මැඩ්රිඩ් කණ්ඩායමේ පුහුණුකරුවන් විසින් ශ්‍රී ලාංකික දරුවන් සඳහා පාපන්දු තාක්ෂණය උගන්වන අතර පළමු දිනය තුළ පුහුණුව ලැබූ ශ්‍රී ලාංකික පුහුණුකරුවන් ද එම දින දෙක තුල එයට සහය දක්වනු ලැබේ. මේ සඳහා දරුවන් තෝරාගෙන ඇත්තේ ළමා ගම්මාන වලින් හා බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් වලින්ය.

මෙවන් වූ ජාත්‍යන්තර මට්ටමේ පුහුණු කඳවුරක් මෙරට දී සංවිධානය කිරීම හරහා ක්‍රීඩා ක්‍රියාකාරකම් තුලින් දරුවන් ගේ සෞඛ්‍ය වර්ධනය කිරීම YHA සමාගමේ අරමුණ වී ඇත.

2006 වසරේ සිට YKK ආසියානු සමාගම විසින් මෙවන් වූ කඳවුරු සංවිධානය කරනු ලබන අතර මේවන විට බංග්ලාදේශය, කාම්බෝජය, ඉන්දියාව, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව, පිලිපීනය, වියට්නාමය හා ශ්‍රී ලංකාව වැනි රටවල්වල මෙවන් කඳවුරු සාර්ථකව සංවිධානය කර ඇත.

YHA සභාපති Mr. Kosuke Miimi මහතා අදහස් දක්වමින් කියා සිටියේ, “මෙම පාපන්දු පුහුණු වැඩසටහන දරුවන්ට පමණක් නොව, මුලු මහත් සමාජයටම යහපතක් ඉටුකරන වැඩසටහනක්, ක්‍රීඩාව සඳහා අවස්ථාව නොලැබෙන දරුවන්ට මින් අවස්ථාවක් ලැබෙනවා සේම සමස්ථ සමාජයටම පාපන්දු ක්‍රීඩාව සඳහා ඇල්මක් ඇතිකරනවා.”

YKK ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක හා කර්මාන්තශාලා අධ්‍යක්ෂක Mr. Ryohei Nagahata විසින් විවිධ වූ සමාජ සත්කාරක වැඩසටහන් පවත්වාගෙන යනු ලබන අතර ශිෂ්‍යත්ව ලබාදීම්, රෝහල් අලුත්වැඩියා කිරීම් වැනි වැඩසටහන් ඒ අතුරෙන් ප්‍ර‍ධාන වෙයි.

මෙවන් පාපන්දු කඳවුරු තුලින් වරප්‍ර‍සාද රහිත දරුවන් හට ඉදිරියටම යාම සඳහා සවියක් රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ පුහුණුකරුවන් විසින් ලබාදෙන අතර, ඉන් බහුතරයක් දරුවන් මෙවන් වෘත්තීමය පුහුණුකරුවන් විසින් පුහුණුවීම් ලබාගන්නා පළමු අවස්ථාව මෙය වෙයි. මෙම පුහුණු කඳවුර සඳහා සහභාගි වන සෑම අයෙකුටම ජර්සි, කලිසම්, මේස්, පාවහන් හා වටිනා සහතික පත්‍රයක් හිමිවෙයි.

මෙවර පැවැත්වෙන පුහුණු කඳවුරු දරුවන්ගේ මෙන්ම සමාජයේ ද ධනාත්මක පරිවර්තනයක් වේය යන්න YKK විශ්වාසයයි.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට