මූවර්ස් අවසන් සටනට

SLC Major Clubs U23 Tournament 2023

344

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට මූවර්ස් ක්‍රීඩා සමාජය අද (17) සමත් වුනා.

කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මූවර්ස් සහ SSC අතර අවසන් පූර්ව වටයේ දෙවැනි තරගයේ දී මූවර්ස් පළමු ඉනිමේ ජයග්‍රහණය ලබා ගනිමින් මෙම අවස්ථාව දිනා ගත්තා.

පෙර දිනයේ පැවති පළමු අවසන් පූර්ව තරගයේ දී ටැමිල් යූනියන් පරාජය කළ රාගම ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගෙන සිටියා. ඒ අනුව පැවැත්වෙන මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර වන අවසන් මහා තරගය මේ මස 21 වැනි දින කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

අද අවසන් වූ තරගයේ කාසියේ වාසිය දිනා ගත් SSC නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මූවර්ස් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 212ක් ලබා ගත් අතර SSC ක්‍රීඩකයෝ ප්‍රතිවාදී ඉනිමේ දී ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 151ක් පමණයි.

තරගය පළමු දිනයට අවසන් වන විට මූවර්ස් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 137ක් ලබා සිටි අතර ඒ වෙද්දී ජනිශ්ක පෙරේරා පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 60ක් සහ ශාකූර් රශ්නි නොදැවී ලකුණක් ලබා සිටියා.

ඒ අනුව අද තරගය ආරම්භ වන විට මූවර්ස් ඉනිමේ වීරයා වී සිටි ජනිශ්ක පෙරේරාට ලබා ගැනීමට හැකි වූයේ තවත් ලකුණු 12ක් පමණයි. දිනයේ පළමු කඩුල්ල ලෙසින් ඔහු දැවී යන විට පන්දු 118කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 72ක් ලබා සිටියා.

එතැන් සිට තරගයේ පාලනය සියතට ගැනීමට SSC ක්‍රීඩකයෝ සමත් වුනා. මූවර්ස් ලකුණු පුවරුව කඩුලු 8ක් දැවී ලකුණු 186ක් ව ලෙසින් ඔවුන් පාලනය කළ ද එතැන් සිට තරගයේ පාලනය නැවත සියතට ගැනීමට මූවර්ස් ක්‍රීඩකයෝ සමත් වුනා.

9 වැනි කඩුල්ල සඳහා පන්දු 98ක දී ලකුණු 48ක් එක් කිරීමට සිසිත මදනායක සහ දේශාන් ගමගේ සමත් වුනා. දේශාන් ගමගේ පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා සිටිය දී දැවී යමින් එම සබඳතාව බිඳ ගත්තා.

මූවර්ස් ඉනිම කඩුලු 9ක් දැවී අත්හිටුවන විට සිසිත මදනායක පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබා සිටියා. ඊට අමතර ව මූවර්ස් ඉනිම ගොඩ නැගීමේ දී රිසිර වීරසූරිය ලකුණු 15ක් සහ ශාකූර් රශ්නි ලකුණු 16ක් ලබා ගත්තා.

මූවර්ස් ඉනිම ඒ තරමින් පාලනය කිරීමේ දී වමතින් දඟපන්දු යවන නිම්නක ජයතිලක ලකුණු 55කට කඩුලු 5ක් දවා ගත් අතර වමතින් වේගපන්දු යවන කළණ පෙරේරා ලකුණු 63කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු හඹා යන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි SSC ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ නායක නිපුන් ධනංජය. ඔහු පන්දු 65කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා.

ඊට අමතර ව සසිඳු මල්ෂ පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගත් අතර කළණ පෙරේරා පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.

SSC ඉනිම පාලනය කිරීමේ දී දකුණතින් පිට දඟ පන්දු යවන ඉම්තියාස් ස්ලාෂා ලකුණු 93කට කඩුලු 6ක් දවා ගත්තා. ඊට අමතර ව තීසාන් විතුසාන් ලකුණු 28කට කඩුලු 2ක් දවා ගත්තා.

  • මූවර්ස් කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 239 (77) රෂීන් රම්ලාන් 38, ජනිශ්ක පෙරේරා 72, සිසිත මදනායක නොදැවී 34, දේශාන් ගමගේ 22, කළණ පෙරේරා 3/63, නිම්නක ජයතිලක 5/55
  • SSC කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 151 (49.1) නිපුන් ධනංජය 37, සසිඳු මල්ෂ 34, කළණ පෙරේරා 25, ඉම්තියාස් ස්ලාෂා 5/93, තීසාන් විතුසාන් 2/28

මූවර්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<