මිනෝද් සහ අශේන් ශතක වාර්තා කරයි

නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය 2023

148
National Super League 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවති අවසන් තරගවල දී මිනෝද් භානුක සහ අශේන් බණ්ඩාර ශතක ලබා ගැනීමට සමත් වුනා.

දඹුල්ල සහ මහනුවර – පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 215ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.

මහනුවර වෙනුවෙන් සඳුන් වීරක්කොඩි පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 67ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූවා. ඊට අමතර ව නායක සහන් ආරච්චිගේ පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී ලහිරු සමරකෝන් ලකුණු 39කට කඩුලු 4ක් දවා ගත්තා. ඊට අමතර ව නුවන් තුෂාර සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් දවා ගත්තා.

ජයග්‍රාහී දඹුලු ඉනිම වෙනුවෙන් නායක මිනෝද් භානුක පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තා.

ඊට අමතර ව ආරම්භක පිතිකරු අභිශේක් ලියනාරච්චි පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 94ක සබඳතාවක් එක් කළා.

  • මහනුවර – සියලුම දෙනා දැවී 215 (47.5) සඳුන් වීරක්කොඩි 67, සහන් ආරච්චිගේ 53, අහන් වික්‍රමසිංහ 24, නුවන් තුෂාර 2/27, ලහිරු සමරකෝන් 4/39, වනිඳු හසරංග 2/40
  • දඹුල්ල – කඩුලු 3ක් දැවී 219 (37.4) අභිශේක් ලියනාරච්චි 43, මිනෝද් භානුක 104, ලසිත් අබේරත්න නොදැවී 28, වනිඳු හසරංග නොදැවී 21

දඹුල්ල කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

කොළඹ සහ ගාල්ල – රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

කාසියේ වාසිය දිනා ගත් කොළඹ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 281ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් අගනා සේවයක් කරනු ලැබුවේ අශේන් බණ්ඩාර. පළමු කඩුලු ත්‍රිත්වය අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වෙද්දී අශේන් බණ්ඩාර එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් ශතකයක් ලබා ගත්තා.

අශේන් බණ්ඩාර පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 101ක් ලබා ගත්තා.

ඊට අමතර ව චරිත් අසලංක පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා. අශේන් බණ්ඩාර සහ චරිත් අසලංක දෙදෙනා එක් ව සිව්වැනි කඩුල්ලට ලකුණු 64ක සබඳතාවක් එක් කළා.

අනතුරුව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 82ක සබඳතාවක් එක් කිරීම අශේන් බණ්ඩාර සහ දසුන් ශානක සමත් වුනා. දසුන් ශානක පන්දු 40ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තා.

ඒ සමඟම 6 වැනි කඩුල්ල වෙනුවෙන් අශේන් බණ්ඩාර, සචිත ජයතිලක එක් කර ගනිමින් ලකුණු 99ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වුනා. සචිත ජයතිලක පන්දු 37ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී ඩිල්ශාන් මධුශංක ලකුණු 58කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිමේ දී ගාල්ල වෙනුවෙන් අර්ධ ශතක 4ක් එක් කරමින් ජයග්‍රහණය කරා ගමන් කළා. එහි දී පෙරමුණ ගත්තේ මොහොමඩ් ශමාස්, ධනංජය ලක්ෂාන්, පසිඳු සූරියබණ්ඩාර සහ පැතුම් කුමාරයි. ඔවුන් තම ඉනිමේ තවත් පන්දු 18ක් ඉතිරිව තිබිය දී එම ඉලක්කය සපුරා ගත්තා.

ගාල්ල ඉනිමේ ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි මොහොමඩ් ශමාස් ආබාධ තත්ත්වයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වන විට පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තා.

ඊට අමතර ව ධනංජය ලක්ෂාන් පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 61ක් සහ පැතුම් කුමාර පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තා.

ඉනිම ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී පසිඳු සූරියබණ්ඩාර පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබා සිටියා.

ගාලු ඉනිමේ දවා ගත් කඩුලු අතුරින් කඩුලු 3ක් ම දවා ගත්තේ දසුන් ශානක. තරගය අවසන් වන විට ඔහු පන්දුවාර 6ක් යවා තිබූ අතර ප්‍රතිවාදීන්ට ලකුණු 32ක් ලබා දී තිබුණා.

  • කොළඹ – කඩුලු 9ක් දැවී 281 (50) චරිත් අසලංක 42, අශේන් බණ්ඩාර 101, දසුන් ශානක 48, සචිත ජයතිලක 67, ඩිල්ශාන් මධුශංක 2/58
  • ගාල්ල – කඩුලු 3ක් දැවී 283 (47) සොහාන් ද ලිවේරා 21, මොහොමඩ් ශමාෂ් 65, ධනංජය ලක්ෂාන් 61, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 53, පැතුම් කුමාර 57, ඩිල්ශාන් මධුශංක 2/58

ගාල්ල කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<