Lahore Qalandars විසින් PSL කිරුල රැක ගැනීමට සමත් වෙයි

PSL 2023

262
Multan Sultans vs Lahore Qalandars
(Photo by Aamir QURESHI / AFP) (Photo by AAMIR QURESHI/AFP via Getty Images)

8 වැනි PSL තරගාවලියේ අවසන් මහා තරගය ගියවර PSL ශූරතාව දිනා ගත් Lahore Qalandars සහ ගියවර අනුශූරතාව දිනා ගත් Multan Sultan කණ්ඩායම් අතර ඊයේ (18) පැවැත්වුණා.

එහි දී Mohommad Rizwanගේ නායකත්වයෙන් යුත් Multan Sultan කණ්ඩායමට එරෙහිව එක් ලකුණක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගනිමින් නොකඩවා දෙවැනි වරටත් PSL ශූරතාව දිනා ගැනීමට Shaheen Shah Afridiගේ නායකත්වයෙන් යුත් Lahore Qalandars සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට Lahore Qalandars නායකයා විසින් තීරණය කළ අතර ඒ වෙනුවෙන් ඔහුගේ මුල්පෙළ පිතිකරුවන් ඉහළ සාධාරණයක් ඉටු කළේ පන්දුවාර 12ක දී ලකුණු 100යේ කඩඉඩමට ළඟා වෙමිනුයි.

නමුත් තරගයේ 15 වැනි පන්දුවාරයේ දී Qalandars ඉනිමේ පස්වැනි කඩුල්ල ද ලකුණු 112ක් වන විට බිඳ දැමීමට සමත් වූ Multan Sultan නැවතත් තරගයට අවතීර්ණ වුනා.

පසුව ඒ වන විටත් නොදැවී පිටියේ රැඳී සිටි Qalandars ආරම්භක පිතිකරු Abdullah Shafiqueගේ සහයට පැමිණියේ නායක Shaheen. වේගපන්දු යවන්නෙකු ලෙස ඉහළ දක්ෂතා පෙන්වන Afridi මෙවර PSL තරගාවලියේ දී පිතිකරුවෙකු ලෙසත් දක්ෂතා පෙන්වීමට සමත්ව තිබූ අතර ඊයේ දිනයේ දී නැවතත් සිය කණ්ඩායම වෙනුවෙන් Afridi ක්‍රියාත්මක වුනා.

ඒ අනුව තරමක අසීරු තත්වයකට පත්ව තිබූ Qalandars ඉනිම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 200ක් කරා ගෙන යාමට Shafique සහ Afridi සමත් වූ අතර එහි දී Shafique විසින් ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වූ අතර පන්දු 15ක් පමණක් වැය කර දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 2ක් සමඟින් නොදැවුණු ලකුණු 44ක් ලබා ගැනීමට Shaheen Afridi විසින් සමත් වුනා.

මේ අතර Multan Sultan වෙනුවෙන් පන්දු යැවීමේ දී Usama Mir විසින් ලකුණු 24කට කඩුලු 3ක් බිඳ හෙළුවා.

මේ අනුව ලකුණු 201ක ඉලක්කයක් හඹා යාමට Multan Sultan පිතිකරුවන් පිටියට පිවිසි අතර නායක Mohommad Rizwanගේ ලකුණු 34 සහ Rilee Rossouwගේ වේගවත් ලකුණු 52ක නිසා වරෙක Sultan ඉනිම පන්දුවාර 17ක දී කඩුලු 4කට ලකුණු 160ක් ලෙස දිස් වුනා.

නමුත් 18 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ Shaheen Afridi ඊයේ දිනය තමන්ගේ කර ගැනීමට සමත් වුනේ එම පන්දුවාරය තුල දී පමණක් Multan Sultan ඉනිමේ කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වෙමිනුයි.

නමුත් නැවතත් තරගය Sultan දෙසට හැරවීමට Khushdil Shah විසින් සමත් වූ අතර, ඒ අනුව තරගයේ අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය සඳහා ඔවුන්ට ලකුණු 13ක් අවශ්‍ය වුනා. Zaman Khan විසින් යොමු කළ එම පන්දුවාරයේ මුල් පන්දු පහට ලකුණු 9ක් ලබා ගැනීමට ඔවුන් සමත් වූ අතර තරගය ජයග්‍රහණය කිරීමට නම් අවසන් පන්දුවට තවත් ලකුණු හතරක් ලබා ගත යුතුව තිබුණා.

මෙවර PSL තරගාවලියේ පළමු තරගය (එම තරගය ද මෙම කණ්ඩායම් දෙක අතරම පැවැත්වුනා, එමෙන්ම එම තරගය ද එක් ලකුණකින් ජය ගැනීමට Qalandars සමත් වුනා.) නැවත සිහි කැඳවමින් Zaman විසින් යැවූ අවසන් පන්දුවට Khushdil හට ලබා ගත හැකි වුනේ ලකුණු දෙකක් පමණයි.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ Multan Sultan ඉනිම කඩුලු 8කට ලකුණු 199ක් ලෙස සීමා වූ අතර එක් ලකුණක තියුණු ජයග්‍රහණයක් හිමි කර ගැනීමට Lahore Qalandars සමත් වුනා.

තරගයේ දී පිත්තෙන් සහ පන්දුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ Qalandars නායක Shaheen Afridi තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

  • Lahore Qalandars 200/6 (20) – Abdullah Shafique 65, Shaheen Afridi 44*; Usama Mir 3-24
  • Multan Sultans 199/8 (20) – Rilee Rossouw 52, Mohammad Rizwan 34; Shaheen Afridi 4-51

එමෙන්ම මෙවර PSL තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වීමට Multan Sultan නායක Mohommad Rizwan සමත් වුනේ තරග 12කින් ලකුණු 550ක් රැස් කරමිනුයි.

එමෙන්ම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වීමට Multan Sultan කණ්ඩායමේ Abbas Afridi (කඩුලු 23) සමත් වූ අතර, ඔහුට පමණක් දෙවැනි වූ Multan Sultan කණ්ඩායමේ ම Ihsanullah (කඩුලු 22) තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

මේ අතර මෙවර PSL තරගාවලියට ශ්‍රී ලංකාවෙන් නුවන් තුෂාර, දසුන් ශානක සහ භානුක රාජපක්ෂ එක් වූ අතර බලාපොරොත්තු වූ තරම් දස්කම් ඔවුන්ගෙන් දැක ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. කෙසේ වෙතත් තරගාවලියේ අවසාන භාගයේ දී භානුකගේ පිත්ත නැවතත් යම් රිද්මයක් සොයා ගැනීමට සමත් වූ බව පෙනී ගියා.

ඒ අනුව 2023 PSL තරගාවලිය මෙතැනින් අවසන් වන අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ලීග් තරගාවලි පිළිබඳව ද සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<