ලෝක ශුරතාවලියේ හයවැනි දිනය ජැමෙයිකාවට නතු වෙයි!

2332

හංගේරියාවේ බුඩාපේස්ට් හිදි පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ 6 වැනි දිනය වූ ඊයේ (24) වැඩි ගෞරව දිනා ගැනීමට ජැමෙයිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුනා.

ඊයේ දිනයේ දී ඉසව් කිහිපයක ම අවසන් තරග පැවැත්වුණු අතර එහි දී ලොව පුරා ක්‍රීඩා රසිකයින්ගේ විශාල අවධානයක් යොමු වී තිබුණු මීටර් 400 ඉසව්වේ අවසන් තරගය ද ලොව විශිෂ්ටතම ධාවකයින් රැසකගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වුනා.

මෙහි දී මීටර් 400 ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන දකුණු අප්‍රිකාවේ Wayde van Niekerk මෙන්ම, ඊට අමතරව තවත් හිටපු ලෝක ශූරයකු වන ග්‍රැනේඩාවේ Karani James සහ ඇමරිකාවේ Vernon Norwood වැනි ක්‍රීඩකයින් ද ඊයේ තරග බිමට පිවිසුණා.

නමුත් ඔවුන් කිසිවෙකුට හෝ බලාපොරොත්තු වූ තරම් දක්ෂතා පෙන්වීමට ඊයේ දිනයේ ඉඩ ලබා නොදුන් වයස අවුරුදු 21ක් පමණක් වන ජැමෙයිකානු තරුණයෙකු විසින් මීටර් 400 ඉසව්ව ජයග්‍රහණය කිරීමට (තත්පර 44.22) සමත් වුනා.

1983 වසරෙන් පසුව ජැමෙයිකාව විසින් කිසිදු ලෝක ශූරතාවයක මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වී නොතිබූ අතර Antonio Watson විසින් ඊයේ රාත්‍රියේ දී එම ඉතිහාසය වෙනස් කිරීමට සමත් වුනා.

එමෙන්ම ඊයේ පැවැත්වුණු කාන්තා මීටර් 110 කඩුලු පැන දිවීමේ ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කරතැයි බොහෝ දෙනා විසින් බලාපොරොත්තු තැබූ නයිජීරියාවේ Tobi Amusan විසින් අවසන් තරගයේ දී හිමි කර ගත්තේ පස්වැනි ස්ථානයයි.

නමුත් කිසිවෙකුගේ හෝ වැඩි අවධානයක් යොමු නොවූ ජැමෙයිකානු ක්‍රීඩිකා Danielle Williams විසින් ඊයේ දිනයේ මෙම තරග වාරයේ සිය හොඳම කාලය ද (තත්පර 12.43) වාර්තා කරමින් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. Camacho-Quinn, Kendra Harrison යන ක්‍රීඩිකාවන් විසින් මෙහි දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගත්තා.

ඊයේ දිනයේ පැවැත්වුණු තරග අතරින් තවත් විශේෂ අවධානයක් යොමු වුන ඉසව්වක් ලෙස පිරිමි දුර පැනීමේ ඉසව්ව හඳුන්වා දිය හැකි. මෙහි දී වත්මන් ඔලිම්පික් ශූර ග්‍රීසියේ Miltiadas Tentoglou විසින් මීටර් 8.52ක දුරක් තරණය කරමින් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.

නමුත් සිය අවසන් සහ හයවැනි පිම්මෙන් Tentoglou විසින් මීටර් 8.52ක දුර තරණය කිරීමට පෙර සමස්ත තරගය පුරාම ඉදිරියෙන් සිටීමට සමත් වුනේ ජැමෙයිකාවේ Wayne Pinnock විසිනුයි.

ඒ අනුව Pinnock හට මෙම ඉසව්වේ දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු වූ අතර, ජැමෙයිකාවේ ම Tajay Gayle විසින් මෙහි තෙවැනි ස්ථානය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මේ අතර කාන්තා මීටර් 400 කඩුලු පැන දිවීම ඉසව්ව ජයග්‍රහණය කිරීමට නෙදර්ලන්තයේ Femke Bol විසින් සමත් වුනේ තත්පර 51.70ක කාලයක් වාර්තා කරමිනුයි.

මෙහි දෙවැනි ස්ථානය ඇමරිකාවේ Shamier Little විසින් ජයග්‍රහණය කරද්දී, ජැමෙයිකාවට තවත් පදක්කමක් දිනා දුන් Rushell Clayton විසින් එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

එමෙන්ම කාන්තා මිටිය විසි කිරීමේ ඉසව්වෙන් කැනඩාවට අමතක නොවන මතකයක් එක් කිරීමට සමත් වූ Camryn Rogers විසින් එහි රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, සිය ජයග්‍රහණයෙන් පසුව ඇය අතිශය සංවේදී වන අයුරු ද දකින්නට ලැබුණා.

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ හය වැනි දිනයේ වැඩි ගෞරව ජැමෙයිකාව විසින් දිනා ගනිද්දී, හත්වැනි දිනයේ ද ඇමරිකාව සහ ජැමෙයිකාව අතර තියුණු සටනක් දකින්නට ලැබෙනු ඇති බව අනුමාන කළ හැකි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 1.10 ට සහ 1.20ට පැවැත්වීමට නියමිත කාන්තා සහ පිරිමි මීටර් 200 ඉසව් ද්විත්වයේ ම අවසන් තරග අතිශය තියුණු මෙන්ම තරගකාරී ඒවා වනු ඇති.

2023 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

World Athletics ඇසුරිනි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<