ඉන්දියාවට ඉතිහාසගත රැයක්; මලල ක්‍රීඩා ශූරතාවලියට විශිෂ්ට නිමාවක්!

World Athletic Championship 2023

5393

2023 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (27) දිනයෙන් අවසන් වුනේ ඉන්දියාවට සිය ප්‍රථම ලෝක මලල ක්‍රීඩා ශූරතාවලි රන් පදක්කම හිමි කර දෙමිනුයි.

හංගේරියාවේ බුඩාපේස්ට් හිදි පැවැත්වුණු ශූරතාවලියේ 9 වැනි සහ අවසන් දිනය වූ ඊයේ තරග ඉසව් කිහිපයක ම අවසන් තරග පැවැත්වුණු අතර ඊයේ දිනයේ දී පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්වට සහභාගී වූ වත්මන් ඔලිම්පික් ශූර ඉන්දියාවේ Neeraj Chopra විසින් සිය ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට සමත් වුනේ මීටර් 88.17ක දුරක් හෙල්ල විසි කිරීමට සමත් වෙමිනුයි.

මේ අතර පාකිස්තානයේ Arshad Nadeem විසින් මෙම ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනේ Neerajහට විශිෂ්ට අභියෝගයක් එල්ල කරමිනුයි.

මීට අමතරව ඊයේ පැවැත්වුණු කාන්තා උස පැනීම ඉසව්ව ජයග්‍රහණය කිරීමට යුක්‍රේනයේ Yaroslava Mahuchikh විසින් සමත් වූ අතර එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන ඕස්ට්‍රේලියාවට හිමි වුනා.

මෙවර මීටර් 1500 ඉසව්ව ජයග්‍රහණය කරතැයි බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටි නමුත් එය සඵල කර ගැනීමට සමත් නොවූ නෝර්වේ හි Jakob Ingebrigtsen විසින් ඊයේ පිරිමි මීටර් 5000 ඉසව්ව විශිෂ්ට ධාවනයක යෙදෙමින් ජය ගැනීමට සමත් වුනා. මේ අතර කාන්තා මීටර් 800 ඉසව්ව කෙන්යාවේ Mary Moraa විසින් ද, කාන්තා මීටර් 3000 බාධක දිවීම ඉසව්ව බහරේනයේ Winfred Mutile Yavi විසිනුත් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

ඊයේ මේ අයුරින් පැවැත්වුණු ඉසව්වල මෙන්ම, ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසානය ද සනිටුහන් කරමින් පිරිමි සහ කාන්තා මීටර් 400×4 ඉසව්වල අවසන් තරග ඉන්පසුව පැවැත්වුණු අතර එහි දී පිරිමි මීටර් 400×4 ඉසව්ව පහසුවෙන් ම ජය ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය විසින් සමත් වුනා. මෙහි දෙවැනි ස්ථානය ප්‍රංශය දිනා ගනිද්දී, තෙවැනි ස්ථානය මහා බ්‍රිතාන්‍ය විසින් දිනා ගත්තා.

මේ අතර කාන්තා මීටර් 400×4 ඉසව්වට විශිෂ්ට අවසානයක් ලබා දීමට නෙදර්ලන්තයේ Femke Bol විසින් සමත් වුනා. කාන්තා මීටර් 400 කඩුලු පැන දිවීමේ ලෝක ශූරිය ලෙස ද

කිරුළු පැලඳූ Bol විසින් ඊයේ දිනයේ දී මෙම ඉසව්වේ අවසන් වටයේ ධාවනයේ යෙදෙමින් නොතිබූ ජයග්‍රහණයක් නෙදර්ලන්තයට හිමි කර දීමට සමත් වුනා.

එම ඉසව්වේ අවසන් මීටර් 100 වන තෙක් ම ඉදිරියෙන් සිටි ජැමෙයිකාව දෙවැනි තැනට ඇද දැමීමට Femke Bol විසින් සමත් වූ අතර එහි තෙවැනි ස්ථානය මහා බ්‍රිතාන්‍ය සතු වුනා.

මේ අයුරින් විශිෂ්ට නිමාවක් ලද 2023 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දී රන් පදක්කම් 12ක් සමඟ සමස්ත පදක්කම් 29ක් ජයග්‍රහණය කළ ඇමරිකාව සුපුරුදු පරිදි පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සමත් වූ අතර, එහි දෙවැනි ස්ථානය කැනඩාවට සහ තෙවැනි ස්ථානය ස්පාඤ්ඤයට හිමි වුනා.

ශ්‍රී ලංකාවට බලාපොරොත්තු වූ තරම් දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වූ ශූරතාවලියක් වුවත්, ලෝක මලල ක්‍රීඩාව පැත්තෙන් බැලූ කල මෙවර අති විශිෂ්ට ජයග්‍රහණය රැසක් දැක බලා ගැනීමට හැකි වූ බව මෙහි දී විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.

මෙවර ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ උණුසුම් තතු විත්ති ඔබ සමඟ බෙදා ගත් සේ ම ඉදිරියේ ද ක්‍රීඩා ලොව උණුසුම් පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<