ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවට?

141
2019 වසරේ පැවති ටෙස්ට් තරගාවලියේ දී දකුණු අප්‍රිකාව තරග 2-0ක් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වසර අවසානයේ දී ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ටෙස්ට් තරග දෙකක් වෙනුවෙන් දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරියෙක් The Island පුවත්පත වෙත (අද) පවසා තිබේ. එම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය බොක්සිං දින ටෙස්ට් තරගයක් (Boxing Day Test) වන අතර එම තරගාවලියේ දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන වසර ආරම්භයේ දී පැවැත්වේ.

තවත් ක්‍රිකට් පුවත්:

“ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය දැන් තහවුරු වෙලා තිබෙන්නේ, හැබැයි තරග වදිනු ලබන ක්‍රීඩා පිටි තවමත් නිල වශයෙන් තීන්දු වෙලා නැහැ” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරියා එහි දී පවසා තිබේ.

කෙසේ නමුත් දෙරට අතර පැවැත්වෙන මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය Durban හිදී හෝ Port Elizabeth හිදී පැවැත්වෙනු ඇති අතර එහි අවසන් ටෙස්ට් තරගය නොඑසේ නම් නව වසරේ පළමු ටෙස්ට් තරගය Cape Town හිදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට සෞඛ්‍ය අංශ සහ රජය සමඟින් මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටත්ව යන ආකාරය ගැන පිළිබඳව සහ නැවත පැමිණීමේ දී නිරෝධායනය විය යුතු දින ගණන සහ එහි ක්‍රියා පටිපාටිය පිළිබඳව සාකච්ඡා මට්ටමින් පවතින බව ද වාර්තා වේ. කෙසේ නමුත් දැනට සැලසුම් කර තිබෙන පරිදි ශ්‍රී ලංකා කණ්ඩායම දෙසැම්බර් මස 12 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව පසුගිය පෙබරවාරි මාසයේ දී පැවති කොදෙව් තරගාවලියට පසුව කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් සඳහා සහභාගී වූයේ නැත. නමුත් පසුගිය මාර්තු මාසයේ දී එංගලන්තය සමඟත්, ජුනි මාසයේ දී දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව සමඟත් (එක්දින සහ විස්සයි විස්ස), ජූලි මාසයේ දී බංග්ලාදේශය සමඟත් තරග වැදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබුණි.

කෙසේ නමුත් කොරෝනා වසංගත තත්වය නිසාවෙන් එම තරගාවලි සියල්ල මේ වන විට දින නියමයක් නොමැතිව කල් ගොස් තිබේ. එය එසේ වුවත් එංගලන්ත තරගාවලිය ලබන වසර ආරම්භයේ දී පැවැත්වීමට දැනට කටයුතු සූදානම් කර පවතින නමුත් එය තවමත් නිල වශයෙන් තහවුරු වී නොමැත.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට දකුණු අප්‍රිකාවේ සංචාරය කළ අවස්ථාවේ පැවති ටෙස්ට් තරග දෙකම ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර දකුණු අප්‍රිකාවේ දී එවැනි දස්කමක් දැක්වූ පළමු ආසියානු කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකාව සමත් විය. එම තරගාවලියේ පළමු තරගය පැවති ඩර්බන් හිදී කුසල් පෙරේරා ලබා ගත් සුපිරි ලකුණු 153 කැපී පෙනුනි.

මේ වන විට පවත්වා ඇති තරගාවලිවලට අනුව ලෝක ටෙස්ට් ශූරතාවයේ ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇත්තේ ඉන්දීය කණ්ඩායමයි.

ලෝක ටෙස්ට් ශූරතාවයේ ශ්‍රේණිගත කිරීම්,

(2020 ඔක්තෝබර් මාසය වන විට)

ස්ථානය කණ්ඩායම ලකුණු
1 ඉන්දියාව 360
2 ඕස්ට්‍රේලියාව 296
3 එංගලන්තය 292
4 නවසීලන්තය 180
5 පාකිස්තානය 166
6 ශ්‍රී ලංකාව 80
7 බටහිර ඉන්දීය කොදෙව් 40
8 දකුණු අප්‍රිකාව 24
9 බංග්ලාදේශය 0

 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<