වාර්තා දෙකක් සමඟ දෙවැනි දිනය අවසන්

රිට්ස්බරි ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2022

663

ශ්‍රීමත් ජෝන් ටාට් මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි දිනය වූ අද (14) දිනය අවසන් වුනේ නව තරගාවලි වාර්තා දෙකක් සමඟයි.

දිනයේ වාර්තා වූ පළමු තරගාවලි වාර්තාව පිහිටුවීමට සමත් වුනේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ටී. මෙන්ඩිස්. 16න් පහළ උස පැනීමේ ඉසව්වට සහභාගී වූ ඔහු එහි දී මීටර් 1.96ක දස්කමක් දක්වමින් නව වාර්තාව පිහිටුවීමට සමත් වුනා.

මෙවර තරගාවලියේ කාන්තා අංශයේ වාර්තා වූ පළමු තරගාවලි වාර්තාව සටහන් කරමින් 20න් පහළ තුන් පිම්ම ඉසව්ව ජයග්‍රහණය කිරීමට ගම්පහ Holy Cross ක්‍රීඩිකා එන්. හෙට්ටිආරච්චිට හැකි වුනා. ඇය වාර්තා කළ දස්කම මීටර් 12.79ක්.

අද දිනයේ පැවති අවධානය දිනා ගත් ඉසව්වක් වූ මීටර් 200 ඉසව්වේ බාලක 16න් පහළ තරගය තත්පර 23.27ක කාලයකින් අවසන් කළ කුරුණෑගල ජෝන් කොතලාවල පාසලේ එස්. දිසානායක දිනා ගද්දී, එහි බාලිකා කාණ්ඩයේ ජයග්‍රහණය හිමි වුනේ තත්පර 26.29ක කාලයකින් ඉසව්ව අවසන් කළ වත්තල ලයිසියම් විද්‍යාලයේ ධනංජනා ප්‍රනාන්දු හටයි.

මීටර් 200 ඉසව්වේ අවුරුදු 18න් පහළ වයස් කාණ්ඩයේ බාලක තරගයේ ජය ලබා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ එම්. විජේසිංහට (තත්පර 22.30) හැකි වූ අතර තත්පර 25.19ක කාලයකින් ඉසව්ව අවසන් කළ කුරුණෑගල ජෝන් කොතලාවල පාසලේ පී. දුණුසිංහ විසින් එහි බාලිකා අදියර ජය ගත්තා.

තත්පර 21.57ක කාලයකින් සිය ඉසව්ව අවසන් කළ ආනන්ද ශ්‍රාස්ත්‍රාල විද්‍යාලයේ ඉසුරු කෞෂල්‍ය විසින් 20න් පහළ බාලක මීටර් 200 තරගය ජය ගද්දී, එම වයස් කාණ්ඩයේ බාලිකා අංශයේ ජයග්‍රහණය වළල රත්නායක විද්‍යාලයේ තරුෂි කරුණාරත්න විසින් දිනා ගත්තා.

ජාතික පිටියේ දස්කම් මෙම තරගාවලියේත් රඳවා ගත් කනිෂ්ඨ ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න බාලිකා මීටර් 800 ඉසව්වේ අවුරුදු 20න් පහළ ඉසව්ව ජයග්‍රහණය කළේ මිනිත්තු 2:14.54ක කාලයකින් ඉසව්ව අවසන් කරමිනුයි.

එමෙන්ම යගුලිය විසි කිරීමේ බාලිකා ඉසව්වෙන් ජාතික පිටියෙහි කැපී පෙනෙන දස්කම් අතර සිටින කොළඹ බිශොප් විද්‍යාලයේ ඔෂිනි චන්ද්‍රසේකර 20න් පහළ යගුලිය විසි කිරීමේ ඉසව්ව මීටර් 12.36ක දස්කමක් සමඟින් ජය ගත්තා.

>> තරගාවලියේ මෙතෙක් තරග ප්‍රතිඵල<< 

අද දිනයේ පැවැත්වීමට තිබූ සහය දිවීමේ අවසන් තරග කිහිපයක්ම හෙට (14) දිනයට කල් දැමීමට සිදු වූ අතර එම තරග ඇතුළු හෙට (14) දිනයේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<