ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවයට මෙවරත් අනුග්‍රහය Ritzbury

ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවය

360

වසර තුනක දිගු විවේකයකින් පසුව මෙම වසරේ දී නැවතත් පැවැත්වීමට නියමිත ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (23) කොළඹ ටාජ් සමුද්‍ර හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුනා.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපති කුසල් ප්‍රනාන්දු, අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂකවරයෙකු වන උපාලි අමරතුංග, Ritzbury ආයතනය නියෝජනය කරමින් එහි සාමාන්‍යාධිකාරි-අලෙවි නිලුපුල් ද සිල්වා, එහි කාණ්ඩ කළමනාකාර අරුණ ලියනපතිරණ ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියා.

මෙවර ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවය සඳහා අනුග්‍රහය ලබා දීමට Ritzbury ආයතනය කටයුතු කරන අතර ඔවුන් මෙම තරගාවලිය සඳහා අනුග්‍රහය දක්වන 10 වැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා පිටියේ පැරණිතම මලල ක්‍රීඩා තරගාවලිය වන ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවය වසර 90ක ඉතිහාසයක් දක්වා ඈතට දිව යන අතර එම තරගාවලිය මෙරට මලල ක්‍රීඩා පිටියට දක්ෂයන් රැසක් බිහි කිරීමට මුල් වූ ප්‍රධානතම තරගාවලියක් ද වනවා.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ සහභාගී කුසල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ,

“වසර කිහිපයකට පසුව මෙම තරගාවලිය නැවත පැවැත්වීමට ලැබීම ගැන සතුටු වනවා වගේම එයට ඉල්ලීමක් කළ සැනින් සිය අනුග්‍රාහකත්වය ලබා දීම පිළිබඳව රිස්බර් ආයතනයට ස්තුතිය පුද කර සිටිනවා. මෙම තරගාවලියේ කනිෂ්ඨ තරග කලාප වශයෙන් පවත්වා අවසන් තරග දෙසැම්බර් මාසයේ දී සහ ජ්‍යෙෂ්ඨ තරගාවලිය සැප්තැම්බර් මාසයේ දී ද පැවැත්වීමට සූදානම්.”

ඔහුට පසුව සිය අනුග්‍රාහකත්වය මෙම තරගාවලියට ලබා දීම පිළිබඳව අදහස් දැක්වූ Ritzbury ආයතනයේ සාමාන්‍යාධිකාරි-අලෙවි නිලුපුල් ද සිල්වා ප්‍රකාශ කළේ,

“පාසල් මලල ක්‍රීඩා පිටියේ දක්ෂයන්ට Ritzbury ආයතනය සැමවිටම උපකාර කරන අතර පාසල් පිටියේ ප්‍රධානතම තරගාවලියට නැවතත් අනුග්‍රාහකත්වය ලබා දීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වෙනවා.

ශ්‍රී ලංකාවේ පාසල් මලල ක්‍රීඩාව ආසියානු මට්ටම දක්වා ඉහළින් තිබ්බත්, පාසල් සමය ඉවර වුනාට පස්සේ ක්‍රීඩකයින් බොහොමයක් ක්‍රීඩා පිටියේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි (Ritzbury) පාසල් මලල ක්‍රීඩා පිටියෙන් ඔබ්බට මෙම දක්ෂයන් රැගෙන යන්න තවත් වැඩපිළිවෙළක් පටන් අරගෙන තියෙන්නේ.”

මෙවර ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවයේ කනිෂ්ඨ තරගාවලියේ පළවෙනි කලාප තරගය අගෝස්තු 30 සහ 31 දිනවලත්, දෙවැනි කලාප තරගය සැප්තැම්බර් 22 සහ 23 දිනවලත් ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී සහ තෙවැනි කලාප තරගය සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 01 දක්වා බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වීමට නියමිතයි.

කනිෂ්ඨ ශූරතාවයේ අවසන් තරගය වයස අවුරුදු 12න්, 13න්, 14න් සහ 15න් පහළ වයස් කාණ්ඩ යටතේ පැවැත්වීමට නියමිත අතර එම අවසන් තරගාවලිය දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ තරගාවලිය සැප්තැම්බර් 13 සිට 16 දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර එම තරගාවලිය සඳහා වයස අවුරුදු 16න්, 18න් සහ 20න් පහළ වයස් කාණ්ඩවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගී වීමට අවස්ථාව හිමි වනවා.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිටියේ වැඩිම ක්‍රීඩකයින් ප්‍රමාණයක් සහභාගී වන මෙම මලල ක්‍රීඩා තරගාවලි ද්විත්වය සඳහා මෙවර පාසල් 800ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18,000ක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2022 ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවයේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<