T20 ලෝක කුසලානය ඉන්දියාවෙන් එළියට?

247
(News 18)

ඉන්දියාවේ පවතින දරුණු COVID-19 තත්වය නිසා ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබුණු ICC විස්සයි විස්ස ලෝක කුසලානය එක්සත් අරාබි එමීර් හා ඕමානය වෙත රැගෙන යනු ඇති බව වාර්තා වෙනවා. 

තරගාවලිය ඔක්තෝබර් – නොවැම්බර් කාලසීමාවේ දී පැවැත්වීමට නියමිත අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ පිළිබඳව ICC සමඟ සාකච්ඡා කර ඇති බව ද සඳහන්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය මුල සිටම තරගාවලිය පැවැත්වීම සඳහා විකල්පය වූ අතර ඊට අමතරව මෙවර ඕමානයේ මස්කට් නගරයත් තරගාවලිය සඳහා සත්කාරකත්වය දරන සිව්වැනි නගරය ලෙස යෝජනා වී තිබෙනවා. එක්සත් අරාබි එමීර් හි අබුඩාබි, ඩුබායි හා සාජාහ් ද තරගාවලිය සඳහා සත්කාරකත්වය දැරීමට සූදානම්.

“ඔව්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ICCය සමඟ පැවති රැස්වීමේ දී අවසන් තීරණය ගන්න සති හතරක කාලයක් ඉල්ලා සිටියා” ICC විධායක සභාවේ නිලධාරියෙක් PTI පුවත් සේවය වෙත පවසා තිබුණා. 

තමන් තරගාවලියේ සත්කාරකත්වය තබා ගැනීමට කැමති බවත්, තරගාවලිය එක්සත් අරාබි එමීර් හිදී හෝ ඕමානයේ දී පවත්වන්නට තමන්ගේ අකමැත්තක් නොමැති බවත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එම රැස්වීමේ දී පවසා සිටි බවත් එම නිලධාරියා පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

“IPL තරගාවලිය ඔක්තෝබර් 10 වැනිදා අවසන් වුනහොත් විස්සයි විස්ස ලෝක කුසලානයේ එක්සත් අරාබි එමීර් අදියර නොවැම්බරයේ ආරම්භ කරන්නට පුළුවන්. එහෙම නම් අපිට සති තුනක කාලයක් තිබෙනවා ජාත්‍යන්තර තරගාවලියකට සුදුසු පරිදි තණතිලි හා අනෙක් කටයුතු සම්පාදනය කරන්නට. පළමු සතියේ තරග ඕමානයේ දී පවත්වන්නට පුළුවන්.”

“ප්‍රායෝගිකව බලනකොට ඉන්දියාවේ දැනට දිනකට COVID-19 රෝගීන් 120,000ක් පමණ වාර්තා වෙනවා. ඒ අප්‍රේල් මාසය අවසානයේ දී වාර්තා වූ ප්‍රමාණයෙන් 1/3 ක පමණ ප්‍රමාණයක්.”

“නමුත් ජුනි 28 වැනිිදා ලෝක කුසලානය ඉන්දියාවේ දී පවත්වනවා කියලා තීරණයක් ගත්තත් ඔක්තෝබර් මාසයේ දී ඉන්දියාවේ තත්වය කොහොම වෙයි ද කියලා අපිට පුරෝකථනය කරන්න අමාරුයි” එම නිලධාරියා පවසා තිබුණා.

“ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයත් දන්නවා මෝසම් කාලය කියන එක හොඳ නිදහසට කාලයක් නෙවේ, COVID-19 නිසා තරගාවලියට බාධා වෙන්න පුළුවන්. තරගාවලියෙන් බලාපොරොත්තු වෙන ආදායම පමණක් කෝටි 2500ක් පමණ වෙනවා.”

“මේක කණ්ඩායම් 16ක් සහභාගි වන තරගයක්. එක් කණ්ඩායමක ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ට වයිරසය ආසාදනය වුනොත් ඒක IPL වගේ වෙන්නේ නැහැ. ටිකක් දුර්වල කණ්ඩායම්වලට ක්‍රීඩකයින් 14ක් 15ක් ඇරුනම අමතර ක්‍රීඩකයෝ නැහැ” ICC අර්ධ සාමාජික රටක නිලධාරියෙක් Times Of India වෙත පවසා තිබුණා.

Times Of India ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<