දිගු නිහැඬියාවකින් පසුව ජෝන් ටාබට් ඇරඹෙයි

රිට්ස්බරි ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2022

243

වසර තුනක දිගු විවේකයකින් පසුව පාසල් මලල ක්‍රීඩා පිටියේ ප්‍රධානතම මලල ක්‍රීඩා තරගාවලියක් වන රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා ශූරතාවය අද (13) ආරම්භ වුනේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේ දීයි.

අද සිට දින හතරක් පුරාවට පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් සහභාගී වන අතර මෙය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ කනිෂ්ඨ සහ යොවුන් ජාතික සංචිත තේරීම් තරගාවලියක් ලෙස ක්‍රියාත්මක වීම ද විශේෂත්වයක්.

තරගාවලියේ ආරම්භක දිනය වූ අද දිනය වැඩි වශයෙන් මූලික වටයේ තරගවලට වෙන්ව තිබූ අතර වයස අවුරුදු 16න්, 18න්, 20න් සහ 22න් පහළ වයස් කාණ්ඩයන් යටතේ තරග පැවැත්වුනා.

මෙවර තරගාවලියේ වාර්තා වූ පළමු තරගාවලි වාර්තාව පිහිටුවමින් අවුරුදු 20න් පහළ බාලක තුන් පිම්ම ඉසව්ව ජයග්‍රහණය කිරීමට Yoshida shokanji ජාත්‍යන්තර පාසලේ අශ්මික කේෂාන්ට හැකි වුනේ මීටර් 15.64ක දස්කමක් දක්වමිනුයි.

මීටර් 15.61ක දස්කමක් දැක්වූ කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ එම්. යසිරු එහි දෙවැනි ස්ථානය හිමිකර ගන්නා විට මීටර් 15.44ක දස්කමක් දැක්වූ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ වයි. කුමාර තෙවැනි ස්ථානය දිනා ගත්තා.

දිනය ආරම්භ කරමින් පැවති වයස අවුරුදු 20න් පහළ කාණ්ඩයේ බාලක මීටර් 5000 ඉසව්වේ ජයග්‍රහණය මිනිත්තු 16:33.8ක කාලයකින් ඉසව්ව අවසන් කළ මොරටු මහා විද්‍යාලයේ එස්. අනුසංක දිනා ගත්තා. එහි අවුරුදු 22න් පහළ කාණ්ඩය මිනිත්තු 16:22.7ක කාලයකින් තරගය අවසන් කළ යාහාලරාව මධ්‍ය මහා විද්‍යාලයේ චරිත ප්‍රභාත් විසින් ජය ගත්තා.

එම ඉසව්වේ වයස අවුරුදු 22න් පහළ බාලිකා තරගයේ ජයග්‍රහණය හිමි වුනේ මිනිත්තු 20:10.40ක කාලයකින් ඉසව්ව අවසන් කළ අඟලවත්ත මිහිඳු විද්‍යාලයේ එන්. සෙව්වන්දි හටයි.

බාලිකා 20න් පහළ හෙල්ල විසි කිරීමේ ඉසව්ව මීටර් 42.46ක දස්කමක් දක්වමින් ජය ගැනීමට සුමන බාලිකා විද්‍යාලයේ කේ.හපුආරච්චිට හැකි වූ අතර එහි 22න් පහළ කාණ්ඩය මීටර් 44.73ක දස්කමක් දක්වමින් ජයග්‍රහණය කිරීමට වළල රත්නායක විද්‍යාලයේ එච්. හසන්ති සමත් වුනා.

අද දිනයේ පැවති තවත් ඉසව්වක් වූ බාලිකා දුර පැනීම ඉසව්වේ 20න් පහළ කාණ්ඩය මීටර් 5.87ක දස්කමක් දක්වමින් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සී. දිසානායක ජයග්‍රහණය කළ අතර එහි 22න් පහළ කාණ්ඩය මීටර් 5.76ක දස්කමක් දක්වමින් ජයග්‍රහණය කළේ දෙබරවැව මධ්‍ය මගා විද්‍යාලයේ එන්. මේගවර්ණයි.

>> දිනයේ සම්පූර්ණ අවසන් ප්‍රතිඵලයන්<< 

තරගාවලියේ දෙවැනි දිනය හෙට (14) ක්‍රියාත්මක වන අතර අවසන් තරග රැසක් එදින පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<