ශ්‍රී ලංකා පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ඉන්දියාවේ දී පදක්කමක් මල්ලක්

ඉන්දීය විවෘත පැරා මලල ක්‍රීඩා ශූරතාවය 2022

1135

ඉන්දියාවේ දී පැවැත්වෙන 04 වැනි ඉන්දීය විවෘත පැරා මලල ක්‍රීඩා ශූරතාවයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් රන් පදක්කමක්, රිදී පදක්කම් අටක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා දෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුනා.

ඉන්දීය පැරා මලල ක්‍රීඩා සංගමයේ විශේෂ ආරාධනාවක් යටතේ මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම දිනූ රන් පදක්කමට හිමිකම් කීවේ යොවුන් ක්‍රීඩිකා ජනනි ධනංජනා.

සිය කාණ්ඩයේ කාන්තා දුර පැනීමේ ඉසව්ව සඳහා සහභාගී වූ ජනනි එහි දී මීටර් 5.1ක දස්කමක් දක්වමින් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

තරගාවලියට සහභාගී වූ බලාපොරොත්තු සහගත ක්‍රීඩකයෙකු වූ පැරාලිම්පික් පදක්කම් ලාභී සමිත දුලාන් හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර ඔහු එහි දී දැක්වූ දස්කම සටහන් වුනේ මීටර් 65.28ක් ලෙසයි.

එමෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2020 පැරාලිම්පික් උළෙලට සහභාගී වූ සමන් මධුරංග T47 කාණ්ඩයේ පිරිමි මීටර් 400 ඉසව්ව තත්පර 50.55ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා.

2020 පැරාලිම්පික් උළෙල නියෝජනය කළ ක්‍රීඩිකාවක් වූ කුමුදු ප්‍රියංකා විසින් මෙම තරගාවලියේ දී එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

කාන්තා T46 කාණ්ඩයේ දුර පැනීම ඉසව්වේ මීටර් 4.71ක දස්කමක් දක්වමින් දෙවැනි ස්ථානය දිනා ගත් ඇය එම කාණ්ඩයේ මීටර් 100 ඉසව්ව තත්පර 13.47ක කාලයකින් අවසන් කළේ තෙවැන්නා ලෙසයි.

T46 කාණ්ඩයේම පිරිමි මීටර් 1500 ඉසව්වට සහභාගී වූ ප්‍රදීප් සෝමසිරි ඉසව්ව මිනිත්තු 4:10.66ක කාලයකින් දෙවැන්නා ලෙස අවසන් කරමින් තවත් රිදී පදක්කමක් මෙරටට දිනා දුන්නා.

තරගාවලියේ T44 කාණ්ඩයේ පිරිමි මීටර් 100 ඉසව්වට සහභාගී වූ නුවන් බුද්ධික එම ඉසව්ව තත්පර 11.77ක කාලයකින් අවසන් කරමින් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර එම කාණ්ඩයේම දුර පැනීමේ ඉසව්වෙන් ද ඔහු රිදී පදක්කම දිනා ගත්තේ මීටර් 6.41ක දස්කමක් දක්වමිනුයි.

ඔහුට අමතරව පිරිමි මීටර් 100 Dash ඉසව්වට සහභාගී පැරා ක්‍රීඩක අනිල් ප්‍රසන්න ජයලත් තරගය තත්පර 12.95ක කාලයකින් අවසන් කරමින් ශ්‍රී ලංකාවට තවත් රිදී පදක්කමක් දිනා දුන්නා.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව ශ්‍රී ලංකාවට යගුලිය දැමීමේ ඉසව්වෙන් රිදී පදක්කම් දිනා දීමට පැරා ක්‍රීඩිකා තිසරා ජයසිංහට හැකි වුනේ F57 කාණ්ඩයේ යගුලිය දැමීමේ ඉසව්වෙන් මීටර් 5.90ක දස්කමක් පෙන්නුම් කරමිනුයි.

පිරිමි T42 මීටර් 100 ඉසව්ව සඳහා සහභාගී වූ ඔහු තත්පර 13.43ක කාලයකින් ඉසව්ව තෙවැන්නා ලෙස අවසන් කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගත්තා.

මෙම තරගාවලියේ දී සුවිශේෂී දස්කම් දක්වමින් ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ThePapare.com අපගේ උණුසුම් සුබ පැතුම්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<