ලංකා ද සිල්වාට අලුත් තනතුරක්

146

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 11ක් සහ ටෙස්ට් තරග 3ක් ක්‍රීඩා කර තිබෙන හිටපු කඩුලු රකින පිතිකරුවෙකු වන ලංකා ද සිල්වා මහතා ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අන්තර්කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස තෝරාගෙන ඇත.

“වෙලගෙදර දී ක්‍රීඩා කරන්න ලැබෙන එකත් ලොකු වාසනාවක්” – ලංකා ද සිල්වා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හර්ෂ ද සිල්වා මහතාගේ නිල ගිවිසුම් ගත කාලය, පසුගිය දා නිමා වූ කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් පසුව අවසන් විය. ඔහුගෙන් හිස්වූ තනතුර සඳහා අන්තර්කාලීන පුහුණුකරුවෙක් ලෙස ලංකා ද සිල්වා මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය තීරණය කර ඇත.

“ලංකා ද සිල්වා මහත්මයා මේ අවුරුද්ද ඉවර වෙනකන් ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අන්තර්කාලීන පුහුණුකරු ලෙස වැඩ කරනවා. අපි දීර්ඝ කාලීන සැලසුමකට යන්න ඕනේ. එතකන් ලංකා ද සිල්වා මහතාට අපේ කණ්ඩායම භාර දෙනවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා පවසන ලදි.

හේමන්ත දේවප්‍රිය මහතා සිය කොන්ත්‍රාත්ගත කාලය අවසන් වීමට මාස 5කට පෙර ඉල්ලා අස්වූ පසුව 2018 වසරේ සිට වසර දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වූයේ ද සිල්වා මහතායි.

ඔහු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය මීට පෙර ද හෙඹවූ අතර එම කාල සාමය තුල දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2013 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාව, දකුණු අප්‍රිකාව හා එංගලන්තය යන කණ්ඩායම් පරාජය කරමින් තරගාවලියේ දී ඉතාමත් හොඳ දස්කම් අතරට පැමිණීමට සමත් විය.

Video – වමත් කණ්ඩායම හා දකුණත් කණ්ඩායම; කවුරු දිනයි ද? | Extras

පළමු පෙළ ක්‍රිකට් තරග 185කට සිය දායකත්වය දක්වා ඇති ලංකා ද සිල්වා ලකුණු 10904ක් ලබාගෙන ඇත්තේ 40.99කට ආසන්න ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගනිමිනි. ඒ අතරට ශතක 25ක් හා අර්ධ ශතක 61ක් ඇතුලත්ව ඇත. ඒ දස්කම් නිසා ඔහු ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් කණ්ඩායම හා එක්දින කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා ගත්තේය.

කොරෝනා වසංගත තත්වයට පසුව ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම මේ වන විට සිය එළිමහන් පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙන නමුත් ක්‍රිකට් ක්‍රීඩිකාවන් තවමත් සිය එළිමහන් පුහුණුවීම් කටයුතු ආරම්භ කර නොමැත. 

එසේම 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 වසර සඳහා කල් යාම නිසා මේ වසරේ තුල දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ද නොපැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සතුව සිටි ප්‍රබල ක්‍රීඩිකාවන් දෙදෙනෙක් වන ශෂිකලා සිරිවර්ධන සහ ශ්‍රීපාලි වීරක්කොඩි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදී තිබෙන නිසා එවැනි ආකාරයේ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් දෙදෙනෙක් නොමැතිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියට රැගෙන යාම නව පුහුණුකරු  හට යම් අභියෝගයක් වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<