කාලිංග මීටර් 400 අවසන් පූර්ව වටයට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

530

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක කාලිංග කුමාරගේ අද (03) තරග බිමට පිවිසියා. ඒ පිරිමි මීටර් 400 මූලික තරග සඳහායි.

මූලික වටයේ පළමු තේරීම් තරගයට සහභාගී වූ කාලිංග එහි ආරම්භයේ සිටම සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළත්, තරග අවසානයේ සිදු වූ තරමක පසුබෑම නිසා තත්පර 46.53ක කාලයකින් ඔහු ඉසව්ව අවසන් කළේ සිව්වැන්නා ලෙසයි.

මූලික තරගවලින් පළමු ස්ථාන තුන දිනා ගන්නා ක්‍රීඩකයින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත් අතර කාලිංග හට මූලික වටයේ තෙවැනි ස්ථානය අහිමි වුනේ තත්පර 0.02ක සුළු කාලයකිනි.

නමුත් මූලික තරගවල පළමු ස්ථාන තුන ලබා ගනිමින් සුදුසුකම් ලබා ගන්නා ක්‍රීඩකයින්ට පසුව වේගවත්ම දක්ෂතා තුන වාර්තා කර ඇති ක්‍රීඩකයන් අතර පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට කාලිංගට හැකි වුනා.

ඒ අනුව කාලිංග සහභාගී වන පිරිමි මීටර් 400 අවසන් පූර්ව තරගය සෙනසුරාදා (06) අලුයම් 1.30ට පැවැත්වීමට නියමිතයි.

කාලිංගගේ තරගයත් සමඟ අද දිනයේ උදෑසන වරුවේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ තරග අවසන් වූ අතර අද රාත්‍රියේ දී පිරිමි මීටර් 100 අවසන් පූර්ව තරගය නියෝජනය කරමින් කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් තරග වැදීමට සූදානමින් සිටිනවා.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සියලූම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<