කඩවුණු සිහිනයක් සමඟ විශිෂ්ටයෙකුගේ සමුගැන්ම

635
TM Dilshan

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ශාන්ගේ ක්‍රිකට් දිවියේ අවසන් තරඟය වන, ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැති දෙවන හා අවසන් විස්සයි – විස්ස තරඟය අද (09) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්විණි. මෙම තරඟයෙන් ද ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 4ක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වූ අතර, ඩිල්ශාන්ගේ බලාපොරොත්තු මල්පල ගැන්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අසමත් විය.

පසුගිය ලිපි: ඕස්ට්‍රේලියාව වාර්තා බිඳ දමමින් සුපිරි ජයක් ලබයි

මෙම තරගයේ දී ද කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

ප්‍රේක්ෂකාගාරයේ උණුසුම් ප්‍රතිචාර මැද පිටියට පිවිසි තිලකරත්න ඩිල්ශාන්ගේ අවසන් ජාත්‍යන්තර ඉණිම, එක් ලකුණකට සීමා කරමින් ඩිල්ශාන්ව දවාගැනීමට ජෝන් හෙස්ටින්ග්ස් සමත් විය. අනතුරුව පිටියට පැමිණි ධනංජය ද සිල්වා, පළමු පන්දුවාර 6 තුළ ලකුණු 46ක තරමක් හොඳ ලකුණු මට්ටමකට ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන ඒමට සමත් විය.

ඡායාරූප ඇල්බමය

කුසල් ජනිත් ලකුණු 22කට ජේම්ස් ෆෝල්කනර්ගේ පන්දුවක් හමුවේ දැවීයන ලදි. තවද 7 වන පන්දුවාර වන විට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් තරමක් දුරට තරගයේ පාලනය ලබා ගැනීමට සමත් වූ අතර එය තව තවත් සාර්ථක කරගනිමින් දිනේෂ් චන්දිමාල්ගේ කඩුල්ල ද දවාගැනීමට ෆෝල්කනර් සමත් විය. ධනංජය ද සිල්වා හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවෙකු ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් යම්තාක් දුරකට හෝ පාලනය කිරීමට සමත් නොවූ අතර ඇතම් පිතිකරුවන් තම වගකීම් නිසි ලෙස ඉටුකලාද යන්නත් ගැටලුවකි.

ශ්‍රී ලංකා ඉණිම තුළ ලකුණු 10 සීමාව පසුකලේ ධනංජය ද සිල්වා හා කුසල් ජනිත් පමණක් වන අතර ධනංජය තම මංගල අර්ධ ශතකය ලෙස 4 පහරවල් 5ක් සමඟ ලකුණු 62ක් ලබාගන්නා ලදි. කුසල් ජනිත් 4 පහරවල් 4ක් සමඟ ලකුණු 22ක් ලබාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම – 128-09 (20) ධනංජය ද සිල්වා  62, කුසල් ජනිත් 22, ඇඩම් සැම්පා 3/16, ජේම්ස් ෆෝල්කනර් 3/19

අනතුරුව ලකුණු 129ක ඉලක්කයක් හඹායාමට පිටියට පැමිණි ජවසම්පන්න ඕස්ට්‍රේලියානුවෝ අතරින් නැවතත් ක්‍රියාත්මක වූ මැක්ස්වෙල්, වේගවත් 4 පහර 7ක් හා එක් 6 පහරක් සමඟ වර්ණවත් ලකුණු 66ක් රැස්කර ගන්නා ලදි. ඩේවිඩ් වෝනර් 4 පහරවල් 3ක් සමඟ ලකුණු 25කට දවාගැනීමට තිසර සමත් විය. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු 90 සහ 100 අතර කඩුලු 4ක් බිදවැටෙන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම එහිදි යම් පසුබෑමකට ලක්වුවද, සචිත් පතිරණගේ පන්දුවකට ට්‍රැවිස් හෙඩ් විසින් 6 පහරක් එල්ල කරමින් තරගය නැවත පණ ගැන්වූ අතර තියුණු තරඟයකින් පසුව තවත් පන්දු 13ක් පමණක් ඉතිරිව තිබියදී  ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 4ක ජයග්‍රහණයකට හිමිකම් කීමට සමත් විය. තවද තම අවසන් තරගයේ දී තිලකරත්න ඩිල්ශාන් පන්දු යවමින් අවසන් කඩුලු 2ක දවාලීමට සමත් විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම – 130-06 (17.5) ග්ලෙයින් මැක්ස්වෙල් 66, ඩේවිඩ් වොනර් 25, මැතිව්ස් වේඩ් 14, තිලකරත්න ඩිල්ශාන් 2/08,  සචිත් පතිරණ 2/23

තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා – ග්ලේන් මැක්ස්වෙල්

ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම 20-20 ක්‍රිකට් තරගාවලියේ තරඟ දෙකම ජයග්‍රහණය කරමින්  තරඟ 2-0ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කරන ලදි.

තවද මෙම විස්සයි විස්ස තරඟ දෙක බැලූ කල ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ජවසම්පන්න බව ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් හා සංසන්දනය කිරීමේ දී, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වඩා කැන්ගරුවන් පියවර කිහිපයක්ම පෙරමුණේ පසුවන බව පෙන්වීමට, මෙම තරඟ දෙක තුල දුටු 6 පහරවල් ප්‍රමාණය එක් හොද සාධකයකි. ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරඟ දෙක තුළ 6 පහරවල් 6ක් පමණක් එල්ල කල අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම 6 පහරවල් 15ක් එල්ල කර ඇත.

මෙම තරගාවලිය තුල  ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක කරගත්තේ ටෙස්ට් තරඟ 3 හා එක් එක්දින තරඟයක් පමණක් වන අතර එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා කණ්ඩායමේ ඇති අඩුපාඩු අවම මට්ටමකට ගෙන ක්‍රීඩා කිරීමට හොදම කාලය දැන් එළඹ ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලිය ලබන දෙසැම්බර් 26 වනදා ආරම්භ වන ටෙස්ට් තරඟයන් පොර්ට් එලිසබත් හිදී ආරම්භ වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට