සාන්ත තෝමස් හා තර්ස්ටන් අර්ධ අවසන් පූර්ව වටයට

217

2017/18 සිංගර් කුසලාන අන්තර් පාසල් පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ සුපිරි 16 දෙනාගේ තරග මේ වන විට ආරම්භ වී ඇත. එහි දී අද (12) පැවැත්වූ තරගවලින් ජයග්‍රහණය ලබාගත් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

ශ්‍රී ලංකා පිළේ ජයග්‍රහණ ඉඩෝරයට තවත් පරාජයක් එක්වෙයි

මේ දිනවල එංගලන්තය සහ වේල්සය පදනම් කර ගනිමින් පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානයේ …

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය

සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 90ක ජයග්‍රහණයක් හිමි කර දුන් මෙම තරගය සාන්ත තෝමස් විද්‍යාලයේ සත්කාරකත්වය යටතේ පැවැත්විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත පීතර විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

සාන්ත පීතර විද්‍යාලයේ ඇරයුමින් පිටියට අවතීර්ණ වූ සාන්ත තෝමස් විද්‍යාලයේ ආරම්භක පිතිකරුවන් යුගලයේ සබඳතාවය ඔවුන්ගේ ලකුණු පුවරුව 13ක් ලෙස දිස්වන විට අවසන් කිරීමට ටිශේන් වික්‍රමසිංහ සමත් විය.

අනතුරුව පිටියට පැමිණි ශලින් ද මෙල් හා එක්වූ සිතාර හපුවින දෙවන කඩුල්ල සඳහා ලකුණු 29ක සබඳතාවයක් ගොඩනංවන ලදි. පසුව කිශාන් හා එක්වූ ශලින් ලකුණු 41ක සබඳතාවයක් තෙවන කඩුල්ල සඳහා ගොඩනංවන ලදි. එහි දී 4 පහර 6ක් සමඟින් ලකුණු 49ක් ලබාගෙන සිටි කිශාන් මුණසිංහ අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට සාන්ත පීතර ක්‍රීඩකයින් සමත් විය.

සාන්ත තෝමස් මැදපෙළ සවිමත් කළ කලන පෙරේරා හා ශලින් ද මෙල් පිළිවෙළින් ලකුණු 39ක් හා 34ක් රැස්කර ගන්නා ලදි. නියමිත පන්දුවාර ප්‍රමාණය අවසානයේ සාන්ත තෝමස් ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවී ලකුණු 204ක් රැස්කර ගන්නා ලදි.

පන්දු යැවීමේ දී සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් යොහාන් විජේවීර කඩුලු 3ක් දවාලූ අතර, රුවින් සෙනෙවිරත්න කඩුලු 2ක් දවා ගන්නා ලදි.

ලකුණු 205ක් හඹා යාමට පිටියට පැමිණි සාන්ත පීතර ක්‍රීඩකයින්ට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 114ක් පමණි. එහි දී සාන්ත පීතර විද්‍යාලයේ ආරම්භක පිතිකරු ජූඩ් ද සිල්වා 4 පහර 5ක් සමඟින් ලකුණු 29ක් ලබාගෙන සිටිය දී දැවී යන ලද්දේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමිනි. අමතරව ශැනොන් ප්‍රනාන්දු ලකුණු 19ක් ලබා ගන්නා ලදි.

සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් කිශාන් මුණසිංහ කඩුලු 3ක් දවා ගත්තේය.

සාන්ත තෝමස් විද්‍යාලය (A) – කඩුලු 9ක් දැවී ලකුණු 204 (පන්දුවාර 50): කිශාන් මුණසිංහ 49, කලන පෙරේරා 39, ශලින් ද මෙල් 34, ඩෙලන් පීරිස් 31, යොහාන් වීජේවීර 3/45, රුවින් සෙනෙවිරත්න 2/23.

සාන්ත පීතර විද්‍යාලය (A) – සියල්ලන්ම දැවී ලකුණු 114 (පන්දුවාර 39.3): ජූඩ් ද සිල්වා 29, ශැනොන් ප්‍රනාන්දු 19, කිශාන් මුණසිංහ 3/16, සිතාර හපුවින 2/13, ඩෙලන් පීරිස් 2/14.


කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය

තර්ස්ටන් පිටියේ දී පැවැත්වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ තර්ස්ටන් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් මෙම තරගයෙන් ලකුණු 16ක තියුණු ජයග්‍රහණයක් ලබාගෙන අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් ජයවිහාන් මහවිතාන අනර්ඝ ඉනිමක් දියත් කරමින් නොදැවී ලකුණු 47ක් රැස්කර ගන්නා ලදි. ඔහු සමඟින් එක්ව ඉනිම ගොඩනැංවූ ශාලක බණ්ඩාර ලකුණු 39කට දවා ගැනීමට වෙස්ලි විදුහල් පන්දු යවන්නන් සමත් විය.

වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3ක් දවාලූ රහල් ගුණසේකර ඇතුළු ක්‍රීඩකයින් තර්ස්ටන් ඉනිමේ නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීමට පෙර ඔවුන්ගේ ඉනිම ලකුණු 153කට සීමා කරවන ලදි.

පිළිතුරු ඉනිම දියත් කළ වෙස්ලි විද්‍යාලයට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 137ක් පමණි. පිතිකරණය මගින් වෙස්ලි ඉනිම සවිමත් කළ රහල් ගුණසේකර තම තුන් ඉරියව් දස්කම් විදහාලමින් අර්ධ ශතකයක් වාර්තා කරන ලදි. ඔහු ලකුණු 52කට දැවී යාමත් සමඟින් තරගයේ වැඩි වාසිය ලබා ගැනීමට තර්ස්ටන් විද්‍යාලයට හැකි විය. මොවින් සුභසිංහ ලකුණු 21යි.

පන්දු යැවීමේ දී ලකුණු 19කට කඩුලු 4ක් දවා ගැනීමට සඳරු ඩයස් සමත් වූ අතර, ඔහුට අනගි සහයක් දුන් චිත්‍රාල් සිල්වා ලකුණු 23ක් තුල කඩුලු 4ක් දවා ගන්නා ලදි.

තර්ස්ටන් විද්‍යාලය  (A) – සියල්ලන්ම දැවී ලකුණු 153 (පන්දුවාර 47.4): ජයවිහාන් මහවිතාන 47*, ශාලක බණ්ඩාර 39, රහල් ගුණසේකර 3/31, ශෙනාල් දංගල්ල 2/20, මොවින් සුභසිංහ 2/28.

වෙස්ලි විද්‍යාලය  (A) – සියල්ලන්ම දැවී ලකුණු 137 (පන්දුවාර 44): රහල් ගුණසේකර 52, මොවින් සුභසිංහ 21, සඳරු ඩයස් 4/19, චිත්‍රාල් සිල්වා 4/23, බිමර රණතුංග 2/25

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට