මේ දිනවල එංගලන්තය සහ වේල්සය පදනම් කර ගනිමින් පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගයත් අද (12) නිමාවට පත්වූයේ ශ්‍රී ලංකාවට තවත් අමිහිරි පරාජයක් හිමි කර දෙමිනි.

ඒ අනුව ලීග් ආකාරයට තරග පැවැත්වෙන මූලික වටයේ තරග ක්‍රමයෙන් අවසන් වන විට එකදු ජයග්‍රහණයක් හෝ වාර්තා කර ගැනීමට නොහැකිව අසරණ වී සිටින්නේ ආසියානු රටවල් ද්විත්වයක් වන ශ්‍රී ලංකාව හා පාකිස්තානු කාන්තා කණ්ඩායම පමණි.

දියාරු පන්දු රැකීම ඉන්දියාවේ ජයග්‍රහණයට පාර කපයි

මේ දිනවල පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා ඉන්දීය කාන්තා..

කාසියේ වාසිය දිනාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට තීරණය කළත් එහි අසාර්ථකභාවය කල්වේලා නොයවාම ප්‍රේක්ෂකයින්ටත්, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ටත් පසක් විය. ඒ ඔවුන්ගේ මුල් කඩුලු 2 ශ්‍රී ලංකා පිළට ලකුණු 5ක් එකතු වෙද්දීම බිඳ වැටුණු බැවිනි. ඒ අතරට ප්‍රබල ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 178ක් ලබාගෙන සමස්ත ලෝකයේම අවධානය දිනාගත් චමරි අතපත්තුගේ කඩුල්ලත් එකතු විය.

ශ්‍රී ලංකා පිළේ වෙනස්කම් තුනක් සිදු කරමින් නිපුනි හංසිකා, ඕෂදී රණසිංහ සහ උදේශිකා ප්‍රබෝදනී වෙනුවට කණ්ඩායමට එක් කර ගත් චමරි පොල්ගම්පළ, හර්ෂිතා මාධවී සහ එශානි ලොකුසූරියගෙන් ද අද එතරම් ඉහළ දක්ෂතා ප්‍රකට නොවීය. ඇත්තෙන්ම අද ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉලක්කම් දෙකේ ලකුණක් හෝ රැස්කර ගත්තේ ක්‍රීඩිකාවන් තිදෙනෙකු පමණි. එහි දී චමරි පොල්ගම්පළ සහ ඩිලානි මනෝදරා ලකුණු 25 බැගින් රැස් කර ගත් අතර වමත් පිතිකාරිණී ප්‍රසාදනී වීරක්කොඩිගේ ඉනිම ලකුණු 18 දී නිමාවට පත්විය.

පසුගිය කාලය පුරාවටම සිදු වුන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මෙම දරුණු පිතිකරණ නාය යෑම ඊයේ දිනයේදීත් ඒ අයුරින්ම සිදුවීම නිසා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 101කට සීමා විය. සුපිරි පන්දු යැවීමක යෙදුණු පා දඟපන්දු යවන ක්‍රීඩිකාවක් මෙන්ම දකුණු අප්‍රිකානු නායිකාව ද වන ඩි වෑන් නීකර්ක්, ටෝන්ටන් තණතීරුවේ පැවති සියලු සහයෝගයන් උපකාරී කර ගනිමින් ලකුණු 24කට කඩුලු 4ක් බිඳ හෙලුවාය. මීට අමතරව ආරම්භක වේග පන්දු යවන ක්‍රීඩිකා ශබ්නිම් ඉස්මයිල් තම දකුණත් වේග පන්දුවේ ආනුභාවයෙන් ශ්‍රී ලංකා පිතිකාරිණියන් තිදෙනකු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීය.

ඒ අනුව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන ප්‍රබල දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ ලකුණු 102ක පහසු ඉලක්කයකි. එය පන්දුවාර 23යි එක් පන්දුවක් තුල දී කඩුලු 2ක් පමණක් දැවී සපුරා ගන්නට ඔවුන් සමත් විය. අගනා ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකාරිණී ලෝරා වුල්වර්ඩ් පන්දු 66ක් තුල දී නොදැවී ලකුණු 48ක් රැස් කර ගත්තාය. ඒ හතරේ පහර 7ක් සමඟිනි. ඇය සහ මිග්නන් ඩු ප්‍රීස් (38*) අතරේ ගොඩනැගුණු ලකුණු 78ක නොබිඳුනු සබඳතාවය දේදුණු දේශයේ පහසු ජයග්‍රහණය ස්ථිර කරවන්නක් බවට පත්විය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා නායිකා ඉනෝකා රණවීර සහ ශ්‍රීපාලි වීරක්කොඩි අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වී ඇති අතර ඔවුන්ට තවත් එක් තරගයක් පමණක් ඉතිරිව ඇත. ඒ එළඹෙන ජූලි 15 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – පාකිස්තානු තරගයයි. එම තරගය හෝ ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි වුවහොත් අසාර්ථක ලෙස ආරම්භ වූ තරගාවලිය එක් ජයග්‍රහණයක් සමඟින් හෝ නිමා කිරීමට අවස්ථාව ඇත.

ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 101 (පන්දුවාර 40.3): චමරි පොල්ගම්පළ 25, ඩිලානි මනෝදරා 25, ප්‍රසාදනී වීරක්කොඩි 18, ඩි වෑන් නීකර්ක් 4/24, ශබ්නිම් ඉස්මයිල් 3/14, සුනේ ලූස් 1/12.

දකුණු අප්‍රිකාව – කඩුලු 2ක් දැවී ලකුණු 104 (පන්දුවාර 23.1): ලෝරා වුල්වර්ඩ් 48*, මිග්නන් ඩු ප්‍රීස් 38*, ට්‍රීශා චෙට්ටි 13, ඉනෝකා රත්නවීර 1/20.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට