NSBM Green 7’s පාසල් ගැටුමට සියල්ල සූදානම්

541

NSBM විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරන “NSBM Green Rugby7s” අන්තර් විශ්ව විද්‍යාලයීය සත් සාමාජික රග්බි ශූරතා තරගාවලිය සැප්තැම්බර් 8 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ තරගාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (28) එම විශ්ව විද්‍යාලය පරිශ්‍රයේ දී පැවති අතර මේ සඳහා ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති ලසිත ගුණරත්න මහතා ඇතුළු විශාල පිරිසක් එක්වී සිටියහ

වයස අවුරුදු 21න් පහළ කාණ්ඩය සඳහා විවෘත වන මෙම පාසල් තරගාවලියට මේ වන විට දිවයිනේ ප්‍රධාන පාසල් 16කට අධික ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතයි. එම නිසාම ශ්‍රී ලංකා රග්බි පාපන්දු විනිසුරු සංගමයේ විනිසුරුවන් විසින් මෙම තරගාවලිය විනිශ්චය කරනු ඇත.

දිවයිනේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාලයක් වන NSBM හරිත විශ්ව විද්‍යාලයෙහි මුල් පියවර ලෙස විෂය සමගාමී, නිපුණතාවයෙන් යුත්, පරිපූර්ණ තරුණ පරපුරක් බිහිකිරීමේ අභිලාෂය පෙරදැරිව මෙවැනි තරගාවලි සංවිධානය කිරීම අද රටේ අවශ්‍යතාවයක් බව NSBM හරිත සරසවියේ සංවිධායක කමිටු  සභාපති භාරත දොඩන්කොටුව මහතා පවසා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ භාරත මහතා,

“අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේ දී විදේශීය පාසල් ද මෙම තරගාවලියට සම්බන්ධ කරගන්නට, ඒ වගේම මේ අපේ ආරම්භය විතරයි, ඉදිරියේ දී රග්බි වගේම පැසිපන්දු, පිහිනුම්, දැල්පන්දු වගේ තරගාවලිත් පවත්වන්නට බලාපොරොත්තු වෙනවා.”

එලෙසම මෙම අවස්ථාව වෙනුවෙන් සහභාගී වූ රග්බි විනිසුරු සංගමයේ ටෝනි අමිත් මහතා සඳහන් කළේ වාර්ෂික රග්බි දින දර්ශනයට මෙම තරගාවලිය ඇතුලත් කර ගන්නට බලාපොරොත්තු වන බවයි. මේ අවස්ථාවට සහභාගී වූ NSBM ක්‍රීඩා කවුන්සිලයේ සභාපති තිසල් යටවර මහතා ද මෙසේ අදහස් දැක්විය.

“අපි මේ වගේ තරගාවලියක් ප්‍රථම වරට සංවිධානය කරන්නේ, ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා, මේ සඳහා සැමගේම දායකත්වයත් මෙම තරගාවලිය සාර්ථක කර ගැනීමට,”

ශූරතා, ඵලක, බඳුන හා පළිහ යන කාණ්ඩ යටතේ මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එලෙසම තරගාවලියේ ජයග්‍රාහකයින් වෙත වටිනා මුදල් ත්‍යාග ද ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වන බව තරගාවලි සංවිධායක කමිටුව පැවසීය.

සුපුරුදු පරිදි මෙම තරගාවලියේ ද සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න අප සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<