Shelly දරුවා වෙනුවෙන් ධාවනයට තිත තබයි!

Paris Olympics 2024

520
Shelly-Ann-Fraser-Pryce

මෙතෙක් ලොව බිහි වූ සාර්ථක ම කෙටි දුර ධාවන ශූරියක් ලෙස සැලකුම් ලබන Shelly-Ann-Fraser-Pryce එළඹෙන පැරිස් ඔලිම්පික් උළෙලත් සමඟින් තම ධාවන ජීවිතය නතර කිරීමට තීරණය කර තිබෙනවා. 

මේ වන විට 37 හැවිරිදි වියේ පසු වන Shelly විසින් ඔලිම්පික් රන් පදක්කම් තුනක් සහ ලෝක ශූරතා රන් පදක්කම් 10ක හිමිකාරියක්. 

2008 වසරේ චීනයේ පැවැත්වුණු ඔලිම්පික් උළෙලේ දී මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කරමින් එවැනි දස්කමක් පෑ පළමු කැරිබියන් දූපත් කාන්තාව බවට ද ඇය පත් වුනා. එයින් පසුව 2012 වසරේ දී ඇය විසින් නැවත වරක් මීටර් 100 ඔලිම්පික් ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.  

2016 වසරේ දී ඇයට මීටර් 100 ඉසව්වේ රන් පදක්කම අහිමි වුනත් ඇය එහි ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළ අතර, මීටර් 100×4 සහය දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

එමෙන්ම 2017 වසරේ දී ඇය මව් පදවිය ලැබූ අතර, ඉන් පසුව 2020 ඔලිම්පික් උළෙලට ද සහභාගී වෙමින් එහි මීටර් 100×4 රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ද සමත් වුනා. 

මේ වන විට ඇය විසින් ඔලිම්පික් රන් පදක්කම් තුනට අමතරව තවත් රිදී පදක්කම් 4ක් සහ එක් ලෝකඩ පදක්කමක් සමඟින් සමස්ත ඔලිම්පික් පදක්කම් 8කට හිමි කම් කියනවා.  

මේ අතරම 2017 වසරේ මව් පදවිය ලැබීමෙන් පසුව ඇය විසින් ලෝක ශූරතා රන් පදක්කම් ත්‍රිත්වයක් ජයග්‍රහණය කිරීමට සමත් වීමත් විශේෂත්වයක්. 2019 දෝහා ලෝක මලල ක්‍රීඩා ශූරතාවේ දී මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වූ Shelly, එවැනි දස්කමක් පෑ ලොව වයස්ගත ම කාන්තාව බවට ද පත් වුනා. නමුත් ඉන් වසර 3කට පසුව, ඇයට වයස අවුරුදු 35 දී නැවතත් ඇය විසින් 2022 Eugene ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කරමින් එම වාර්තාව නැවතත් අලුත් කිරීමට ද සමත් වුනා. 

2008 වර්ෂයේ පටන් වසර 16ක් පුරා රැගෙන ආ සිය ධාවන ජීවිතයට එළඹෙන අගෝස්තු මාසයේ දී නැවතීමේ තිත තැබීමට තමන් තීරණය කළ බවයි Shelly-Ann-Fraser-Pryce පවසන්නේ. මෙම තීරණයට ප්‍රධානතම හේතුව තම පවුල බවත් ඇය විසින් අවධාරණය කරනවා. 

” මගේ දරුවාට මාව අවශ්‍යයි, 2008 දී මම දිනන්න කලින් ඉඳන් ම මම සහ මගේ ස්වාමිපුරුෂයා එකට හිටියා. එයා මම වෙනුවෙන් කැප කිරීම් කරලා තියෙනවා.  

අපි හවුල්කාරීත්වයක්, කණ්ඩායමක්. ඒ සහයෝගිතාව නිසා තමයි මම මේ අවුරුදු ගණනාව පුරාවට කරපු දේවල් මට කරන්න පුළුවන් වුනේ. මම හිතන්නේ මම දැන් ඔවුන් වෙනුවෙන් දෙයක් කිරීමට ඔවුන්ට ණයගැතියි.” 

වයස අවුරුදු 37ක් වුවත් Shelly තවමත් 2008 වසරේ දී තමන් සතුව තිබූ ජවයම සහිතව ධාවන පථයේ දී දැක ගැනීමට පිළිවන්. Budapest හි පැවැත්වුණු 2023 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දී මීටර් 100 ඉසව්වෙන් Sha’Carri Richardson විසින් නව ලෝක ශූරියක් ලෙස කිරුළු පලඳිද්දී, Shelly එහි ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 

එම නිසා මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ දී ද ඇය විසින් Sha’Carri, Shericka Jackson සහ වත්මන් ඔලිම්පික් ශූරිය වන Elaine Thompson-herah යන ක්‍රීඩිකාවන්ට ධාවන පථයේ දී විශාල අභියෝගයක් වනු ඇති. 

මව් පදවිය ලැබීමෙන් පසුව පවා වසර ගණනක් මුළුල්ලේ ධාවන පිටිය වෙනුවෙන් පමණක් කැපවුනු ක්‍රීඩිකාවක් ලෙස Shelly හඳුන්වා දිය නොහැකියි. 

පසුගිය වසරේ සමාජ මාධ්‍යජාලා වල පැතිර ගිය වීඩියෝවක් හරහා දැක ගැනීමට ලැබුණේ ඇය විසින් තම පුතාගේ පාසලේ ක්‍රීඩා උත්සවයක් අතරතුර දරුවන්ගේ මව්වරුන් අතර පැවැත්වුණු ධාවන තරගයකට සහභාගී වන ආකාරයි. 

ක්‍රීඩාව මෙන්ම පෞද්ගලික ජීවිතය වෙනුවෙන් ද ඇය සිය උපරිම කැපවීම ලබා දුන් බව එයින් වටහා ගත හැකි. 

එමෙන්ම තමන් මෙම සමුගැනීමේ තීරණය ගැනීමට තවත් විශේෂ හේතුවක් Shelly විසින් මෙසේ සඳහන් කර තිබුණා. 

“ඔබ තීරණය කළ පසු පමණක් ඔබ නතර වන බව මිනිසුන්ට පෙන්වීම. මට මගේම කොන්දේසි මත අවසන් කරන්න අවශ්‍යයි.” 

තම සමුගැනීමේ තීරණය සම්පූර්ණයෙන්ම ස්වකැමැත්ත මත පමණක් සිදු විය යුතු බවයි Shelly විශ්වාස කරන්නේ. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ සියලු නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

The Guardian සහ ESPN ඇසුරිනි. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<