ප්‍රබල නම් කීපයක් එක්වුන ඉන්දීය ලෝක කුසලාන සංචිතය

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

5629

2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය සංචිතය අද (12) නම් කෙරුණා. මෙම සංචිතය සඳහා ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත් වන අතර ප්‍රබල ක්‍රීඩකයන් කීපදෙනෙකු ද ඒ අතර වනවා.

සංචිතයේ කැපී පෙනෙන නාමය වන්නේ වේගපන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah යි. ආබාධයක් හේතුවෙන් ආසියානු කුසලාන සංචිතය සඳහා එක්නොවූ Jasprit Bumrah ලෝක කුසලාන සංචිතය සඳහා නම් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්දීය ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක Ravindra Jadeja මෙම සංචිතය සඳහා ඇතුළත් වන්නේ නැහැ. ඔහු ආබාධයක් හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරග කීපය සඳහා ද එක්ව සිටියේ නැහැ.

ඉන්දීය සංචිතය සඳහා Bumrahට අමතරව වේගපන්දු යවන ක්‍රීඩක Harshal Patel ද එක්ව සිටිනවා. ඔහු ද ආබාධයක් හේතුවෙන් ආසියානු කුසලානය සඳහා සහභාගී වුනේ නැහැ.

Arshdeep Singh සහ Bhuvneshwar Kumar වේගපන්දු යවන්නන් ලෙස සංචිතය නියෝජනය කරන අතර තුන් ඉරියව් ක්‍රීඩක Hardik Pandya ද සංචිතයට ඇතුළත් වනවා.

ඉන්දීය සංචිතයේ දඟපන්දු බලඇණිය R Ashwin, Yuzvendra Chahal සහ Axar Patelගෙන් සමන්විත වනවා.

ඉන්දීය පිතිකරණ ලැයිස්තුව සුපුරුදු පරිදි ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත වනවා. නායක Rohit Sharma, උපනායක KL Rahul, Virat Kohli, Suryakumar Yadav, Rishabh Pant සහ Dinesh Karthik සංචිතයේ සාමාජිකයන් වනවා.

මීට අමතරව වේගපන්දු යවන ක්‍රීඩක Mohammad Shami අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතය නියෝජනය කරන අතර Deepak Chahar, Ravi Bishnoi සහ Shreyas Iyer සෙසු අතිරේක ක්‍රීඩකයන් වනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ ඉන්දීය සංචිතය මෙසේයි.

Rohit Sharma (නායක), KL Rahul, Virat Kohli, Suryakumar Yadav, Deepak Hooda, Rishabh Pant (කඩුළු රකින ක්‍රීඩක), Dinesh Karthik (කඩුළු රකින ක්‍රීඩක), Hardik Pandya, R Ashwin, Yuzvendra Chahal, Axar Patel, Jasprit Bumrah, Bhuvneshwar Kumar, Harshal Patel, Arshdeep Singh.

අතිරේක ක්‍රීඩකයන්: Mohammad Shami, Shreyas Iyer, Ravi Bishnoi, Deepak Chahar

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<