ශ්‍රී ලංකා සංචාරයෙන් බංග්ලාදේශ ප්‍රබලයින් කිහිප දෙනෙක් ඉවතට?

27
©CricTracker.com

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය මේ මස අගදී ආරම්භ වීමට නියමිතව තිබෙන අතර ඒ සඳහා සහභාගී වන බංග්ලාදේශ කණ්ඩායම සඳහා තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා වේ.

ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව තරග නිලධාරීන් නම් කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව …….

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තේරීම් කමිටු නිලධාරි මින්හජුල් ආබ්ඩීන් මේ පිළිබඳව Cricbuzz වෙබ් අඩවිය වෙත ඊයේ (7) දිනයේ දී තහවුරු කර ඇත.

ශකීබ් විසින් මේ පිළිබඳව පුද්ගලිකව බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් දැනුවත් කරමින් දන්වා තිබෙන්නේ ලෝක කුසලානයට පසුව ඔහුට යම් විවේකයක් අවශ්‍ය බවයි. ඒ නිසාවෙන් බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ඔහුව විවේක ගැන්වීමට වැඩි ඉඩකඩක් තිබේ.

එසේම බංග්ලාදේශ කඩුලු රකින ක්‍රීඩක ලිට්න් ඩාස් මේ මස 28 වැනිදා යුග දිවියට එළඹෙන නිසාවෙන් ඔහු ද ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලියේ දී බංග්ලාදේශ සංචිතය නියෝජනය කිරීම අවිශ්වාසදායී මට්ටමකට පැමිණ ඇත‍ෙ

“පුරා මාස කිහිපයක් තිස්සේ නොනැවතී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ ශකීබ් අපෙන් යම් විවේකයක් ඉල්ලුවා. නමුත් අපේ පැත්තෙන් තවමත් ඒ සඳහා අනුමැතිය හිමි වෙලා නැහැ. ලිට්න් ඩාස් මේ මස 28 වැනිදා විවාහ වෙන නිසා ඔහුව සංචිතයට කැඳවනවා ද නැද්ද කියන එකත් අපිට දැන් දෙපාරක් හිතන්න වෙලා තියෙන්නේ. මහමදුල්ලාට ආබාධයක් ඇවිල්ලා තියෙන නිසා ඔහු ද මේ තරගාවලිය සෙල්ලම් කරයි ද නැද්ද කියලා හරියටම කියන්න බැහැ.” බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තේරීම් කමිටු නිලධාරියා වන මින්හජුල් ආබ්ඩීන් මාධ්‍ය වෙත පවසා තිබේ.

ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාලසටහන නිකුත් වේ

සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසිලන්ත…..

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් පිතිකරණයෙන් ලකුණු 606ක් හා පන්දු යැවීමෙන් කඩුලු 11ක් දවාගෙන ඉතාමත් හොඳ කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත් විය. එහි දී ඔහු 86.57ක දල ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන පිතිකරණයේ නිරත වූ අතර ඒ සඳහා ශතක දෙකක් හා අර්ධ ශතක 5ක් අන්තර්ගත වන  ලදි.

“ඉන්දියාව හා පාකිස්තානය සමඟ තරග කරන කොට ඒ කියන්නේ අපේ අවසන් තරග දෙක සෙල්ලම් කරන කොට අපේ මානසික මට්ටම එතරම් ඉහළ මට්ටමක තිබුණේ නැහැ. ඒ තරග දෙක අපිට ලොකු අභියෝගයක් වුනා. මගේ ශාරීරික යෝග්‍යතාවය හොඳින් පවත්වා ගැනීමට පුළුවන් වුනු නිසා මට මේ ආකාරයේ හොඳ තුන් ඉරියව් දස්කම් දක්වන්න පුළුවන් වුනා.” යැයි ශකීබ් අල් හසන් තරගාවලියට පසුව පැවති මාධ්‍ය හමුවක දී පවසන ලදි. 

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් කර ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට දිවයිනට පැමිණ තිබෙන අතර, එක්දින තරග 3කින් සමන්විත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය මේ මස 25 වැනිදා සිට 29 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිත නමුත් රටේ ඇතිවූ අනාරක්ෂිත බවට පසුව බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් බංග්ලාදේශ කණ්ඩායම මෙරටට එවීම පිළිබඳව තවමත් තහවුරු කර නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<