කොදෙව් සුදු පන්දුවට නව නායකයින් දෙදෙනෙක්

402
Shai Hope and Rovman Powell

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නව එක්දින සහ විස්සයි විස්ස නායකයින් ලෙස Shai Hope සහ Rovman Powell පත්කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබෙනවා.

කොදෙව් සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ Nicholas Pooran විස්සයි විස්ස ලෝක කුසලාන පරාජයෙන් පසුව ඉවත් වීමට තීරණය කිරීමෙන් පසු හිස් වූ නායකත්ව අසුන් සඳහා ඔවුන් දෙදෙනා පත් කර තිබෙනවා.

Hope මීට පෙර කොදෙව් එක්දින කණ්ඩායමේ උපනායකයා ලෙස සහ Rovman Powell විස්සයි විස්ස කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කළා.

2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ සුපර් ලීග් තරගාවලියේ පෙරළිකාරී සිදුවීම් කිහිපයක් සිදු නොවන්නට කොදෙව් ක්‍රීඩකයින්ට ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට සිම්බාබ්වේ හී පැවැත්වීමට නියමිත සුදුසුකම් ලැබීමේ තරග ක්‍රීඩා කිරීමට සිදු වෙනවා.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය ජුනි සහ ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිත අතර කොදෙව් කණ්ඩායම වත්මන් සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පසු වන්නේ අටවැනි ස්ථානයේයි.

එක්දින පිටියේ ලකුණු 48.95ක සාමාන්‍යයක් රඳවා ගෙන සිටින Hope කොදෙව් දේශීය තරග පිටියේ Barbados කණ්ඩායමේ නායකයා ලෙස පසුගිය වසරේ දී කටයුතු කළා.

“කොදෙව් කණ්ඩායමේ නායකයා ලෙස පත්වීමට ලැබීම මට විශාල ගෞරවයක් වගේම භාග්‍යයක්. ජාතික කණ්ඩායම මෙහෙයවීම මම, මගේ කණ්ඩායම් සඟයන් වගේම ඕනෑම කෙනෙක් කුඩා කල සිට දකින සිහිනයක්.

මම කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා මාව විශ්වාස කරලා මේ අවස්ථාව ලබා දීපු එක ගැන.

කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි මාර්ගයට ගෙන ඒම මගේ මූලික පරමාර්ථයයි. මගේ කණ්ඩායම් සඟයන්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේ සහයත් සමඟ දිගු කාලයක් කොදෙව් නායකත්වයේ රැඳී සිටින්න මම බලාපොරොත්තු වෙනවා,” යැයි Hope ප්‍රකාශ කළා.

නව විස්සයි විස්ස නායකයා ලෙස පත් වූ Rovman Powell කොදෙව් දේශීය තරග පිටියේ නායකත්ව අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකු වන අතර ඔහු විස්සයි විස්ස ලීග් පිටියේ ද ඉහළ දස්කම් දැක්වූ කැපී පෙනෙන ක්‍රීඩකයෙක්.

“කොදෙව් කණ්ඩායමට නායකත්වය ලබා දීමට මාව තෝරා ගැනීම ගැන මම නිහතමානී සතුටු වෙනවා. එයින් මට විශාල විශ්වාසයක් ලැබෙන අතර මගේ වෘත්තීය ජීවිතයේ ලැබූ ඉහළම සතුට එයයි.

කොදෙව් ක්‍රිකට් වල බිහි වූ ශ්‍රේෂ්ඨයින් රැසක් දැරූ එම තනතුරේ කටයුතු කිරීමට වඩා විශාල දෙයක් තවත් නැහැ. මම කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා මට මේ ලබා දීපු අවස්ථාව ගැන.

මම ක්‍රීඩකයෙකු විදියට හැම විටම ඉදිරියෙන් සිටිමින් 100%ක් කණ්ඩායම වෙනුවෙන් ලබා දෙන්න සූදානම්”, යැයි Powell ප්‍රකාශ කළා.

නව සීමිත පන්දුවාර නායකයින් දෙදෙනා දකුණු අප්‍රිකා සංචාරයේ සිට කණ්ඩායමේ රාජකාරි ආරම්භ කිරීමට නියමිත අතර එම තරගාවලිය පෙබරවාරි 28 සිට මාර්තු 28 දක්වා පැවැත්වීමට නියමිතයි.

Espncricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<