ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහළට

306

ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සඳහා ගෙවන තරග ගාස්තු ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

මෙම (2023) වසරේ ජනවාරි 31 වැනිදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති අතර එම වැටුප් වැඩි වීම පෙබරවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වෙනවා.

එම වැටුප් වැඩි කිරීමේ තීරණයට අනුව සීමිත පන්දුවාර තරගයක් සඳහා ක්‍රීඩිකාවකට ගෙවූ ඇමරිකානු ඩොලර් 250ක මුදල ඇමරිකානු ඩොලර් 750ක් දක්වා ඩොලර් 500ක මුදලකින් ඉහළ දමා තිබෙනවා.

කණ්ඩායමේ අතිරේක ක්‍රීඩිකාවන් සඳහා ද තරග ගාස්තුවෙන් 25%ක මුදලක් හිමි වන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරන සෑම තරගයක් (ද්විපාර්ශ්වික තරගාවලි හෝ ජාත්‍යන්තර තරගාවලි වල) සඳහා එක් ක්‍රීඩිකාවකට ඇමරිකානු ඩොලර් 250ක අමතර මුදලක් ද හිමි වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව තුළ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තව දුරටත් ව්‍යාප්ත කිරීම සහ සංවර්ධනය ක්‍රියාත්මක කරන වැඩසටහන් වලට සමගාමීව මෙම වැටුප් ඉහළ දැමීම සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක් ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<