කාන්තා ප්‍රිමියර් ලීගයේ කාලසටහන නිකුත් වෙයි

කාන්තා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලිය 2023

163

ලොව පුරා අවධානය දිනා ගත් වෙන්දේසියකින් පසුව මෙම වසරේ ආරම්භ වීමට නියමිත කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිවේදනය කර තිබෙනවා.

Delhi Capitals, Gujarat Giants, Mumbai Indians, Royal Challengers Bangalore සහ UP Warriorz යන කණ්ඩායම් පහ තරග වදින මෙම තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩිකාවන් 30ක් ඇතුළුව සමස්ත ක්‍රීඩිකාවන් 87ක් කණ්ඩායම් විසින් මිල දී ගනු ලැබුවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ කාලසටහනට අනුව මෙම තරගාවලිය දින 23ක් මුළුල්ලේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා මූලික වටයේ තරග විස්සක් සහ අවසන් වටයේ (playoff) තරග දෙකක් ඇතුළත් වෙනවා.

ඒ අනුව තරගාවලියේ පළමු තරගය මාර්තු 04 වැනිදා Mumbai Indians සහ Gujarat Giants කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. තරගය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ DY Patil ක්‍රීඩාංගණයේ දීයි.

තරගාවලියේ පළමු ද්විත්ව තරග (double-header) මාර්තු 05 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර එදින Delhi Capitals සහ Royal Challengers Bangalore තරගය Brabourne ක්‍රීඩාංගණයේ දීත්, Gujarat Giants සහ  UP Warriorz තරගය DY Patil ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ද්විත්ව තරග පැවැත්වෙන දිනවල පළමු තරගය සවස 3.30ට සහ දෙවැනි තරගය රාත්‍රි 7.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

Brabourne සහ DY Patil ක්‍රීඩාංගණවල තරග 11 බැගින් පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර Eliminator තරගය මාර්තු 24 වැනිදා DY Patil ක්‍රීඩාංගණයේත්, අවසන් මහා තරගය මාර්තු 26 වැනිදා Brabourne ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සඳහා පැවති ක්‍රීඩිකාවන් වෙන්දේසියේ දී ඉන්දීය ක්‍රීඩිකා Smriti Mandhana ඉන්දීය කෝටි 3.40ක මුදලකට Royal Challengers විසින් මිල දී ගත් අතර වෙන්දේසියේ දී ඉහළම වටිනාකමක් හිමි වූ ක්‍රීඩිකාවන් වන්නේ ද ඇයයි.

ඇයට අමතරව තුන් ඉරියව් ක්‍රීඩිකා Deepti Sharma ඉන්දීය කෝටි 2.6කට UP Warriorz විසිනුත්, ඉන්දීය නායිකා Harmanpreet Kaur ඉන්දීය කෝටි 1.80කට Mumbai Indians විසිනුත් මිල දී ගත්තා.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<