නවසීලන්ත සංචාරයට “රදැල්ල” සූදානම් කරයි

Sri Lanka tour of New Zeland 2023ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2023

1491

මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය සඳහා සූදානම් වීම වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති “රදැල්ල” ක්‍රිකට් ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව තහවුරු කළ අතර‍ ක්‍රීඩාංගණයේ හිමිකාරිත්වය දරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජික ක්‍රීඩා සමාජයක් වන දිඹුල මලල ක්‍රීඩා සහ ක්‍රිකට් සමාජය විසින් (Dimbula Athletic and Cricket Club) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙම ක්‍රීඩාංගණයේ පුහුණුවීම් සිදු කිරීමට අවසර ලබා දීමෙන් පසු මෙම නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.

එම අවසරය හිමි වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණ සහ පහසුකම් කළමනාකාරිත්වය දරන Godfrey Dabrera මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අත්දැකීම් බහුල 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රදැල්ල ක්‍රීඩාංගණය වෙත යවා තිබුණේ ජාතික කණ්ඩායමට පුහුණුවීම් සිදු කිරීමට අවශ්‍ය මට්ටමට ක්‍රීඩාංගණය සැකසීමටයි.

අවශ්‍ය කටයුතු සිදු කිරීමෙන් පසුව මේ වන විට ක්‍රීඩාංගණය ප්‍රධාන තණතීරු (Center Turf Wickets) හතරකින් සහ අලුතින් එක් කරන ලද පුහුණු තණතීරු පහකින් සමන්විත වන අතර පුහුණුවීම්වලට අවශ්‍ය සියලු පහසුකම්  සූදානම් කර තිබෙනවා.

1856 වසරේ ඉදි කරන ලද රදැල්ල ක්‍රීඩාංගණය මුහුදු මට්ටමේ සිට අඩි 4200ක් ඉහළින් පිහිටා ඇති අතර මෙය ජාතික කණ්ඩායමට පුහුණුවීම් සිදු කිරීමට හැකියාවක් ඇති ඉහළම උන්නතාංශයක් (high-elevation) ඇති එකම ක්‍රීඩාංගණයයි.

මෙම ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු එය ජාතික මට්ටමේ පුහුණුවීම් සඳහා ගැළපෙනවා ද යන්න පරික්ෂා කිරීමට පුහුණු තරගයක් පසුගිය සතියේ පවත්වා ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වුනා.

නවසීලන්ත සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම මස 16 වැනිදා සිට සතියක කාලයක් රදැල්ල ක්‍රීඩාංගණයේ දී පුහුණු සැසියකට සහභාගී වීමට නියමිත අතර එම ක්‍රීඩාංගණය අවට කාලගුණය නවසීලන්තයට සමාන නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එය තරගාවලියට සූදානම් වීම සඳහා විශාල රුකුලක් වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයක් ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<