මහා තරග අතර මහා තරගය – නිල් මහා සටන

206

Learnt of books and learnt of men

මේ රාජකීය විදුහලේ පාසල් ගීතයේ එක් කොටසකි. එහි සරල අර්ථය පොත පතින් පමණක් නොව මිනිසුන්ගෙන් ද ජීවිතය ඉගෙන ගත් බව යි. 

බොහෝ විට අප ජීවිතයේ හොඳම පාඩම් ඉගෙන ගන්නේ පොතපතින් නොව අපට හමුවන මිනිසුන්ගෙනි. ඇතැම් විට අපට අහම්බෙන් මුණ ගැසෙන අප නොදන්නා ආගන්තුකයෙකු අපට ජීවිතයේ වැදගත්ම පාඩම් කියා දී ඇති අවස්ථා ඕනෑ තරම් වෙයි.

මින් වසර කිහිපයකට පෙර රාජකීය සාන්ත  තෝමස් මහා ක්‍රිකට් තරගයක් අතරතුර එවැනි එක් මිනිසෙකු විසින් තරුණයන් පිරිසකට ඉගැන්වූ එක් පාඩමක් මෙහිලා ඔබ වෙත ලියා තැබීම මැනැවියි මම සිතමි.

එස්. එස්.සී පිටියේ එක් ප්‍රේක්ෂකාගාරයක් ඉදිරිපිට තිබූ ගේට්ටුවක් අසල එකම ගාලගෝට්ටියකි.

මල්ලි, ගෙට් බැක්..”

තම කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ශතකයක් රැස් කිරීමේ සතුට සැමරීම සඳහා ගේට්ටුව මතින් පැන ක්‍රීඩා පිටිය තුළට රිංගන්නට සූදානම් වන යොවුන් ගැටවරයන් පිරිසට ගේට්ටුව අසල සිටගෙන සිටි මැදි වියේ රාජකීය ආදි සිසුවා එසේ විධාන දුන්නේය..

දෙතුන් දෙනෙකු පමණක් අයියාගේ විධානයට අවනත වූ නමුත් අනෙක් ගැටවරයන් එය තුට්ටුවකට මායිම් කළේ නැත..

අයිසෙ, ගෙට් බැක්..”

එවර ආදි සිසුවාගේ ස්වරය තරමක් දැඩිය. තවත් ගැටවරයන් හතර පස් දෙනෙකු අයියාගේ විධානයට අවනත වී පසුපසට වූ නමුත් බහුතරය තවමත් ගේට්ටුව අසලය. ඔවුන්ට අයියාගේ විධානය නොතේරුන හැඩකි.

අයියා ගේට්ටුව අසලට පැමිණියේය..

” ***, ගෙට් බැක්..”

එතෙක් වේලා වීරකම් පාමින් සිටු ගැටවරයන් පිරිස මීයට පිම්බාක් මෙන් නිහඬව එකා පසුපස එකා සෙමෙන් විසිර යමින් නැවත ප්‍රේක්ෂකාගාරය වෙත අපූරුවට පිය මැන්නාහ..

එම ප්‍රේක්ෂකාගාරයේ එකදු ගැටවරයෙකුවත් ඉන්පසුව ගේට්ටුව මතින් පනින්නට උත්සාහ කළේ නැත. නොතේරෙන ගැටවර මල්ලිලාට තේරෙන භාෂාවෙන් කියාදී හික්මවිය යුතු තැන හික්මවන්නට රාජකීය ආදි සිසු අයියා සමත් විය.

මා මෙලෙසින් සටහන් කළේ මවිසින් රාජකීය – සාන්ත තෝමස් මහා තරගය අතරතුර දී අත් විඳි එක් පුංචි උදාහරණයක් පමණි. මහා තරගය පැවැත්වෙන දින තුන පුරාවටම එයට සහභාගී වන යෞවනයෙකුට උගත හැකි දෑ මෙතෙකැයි සඳහන් කිරීමට තරම් මගේ වාග් මාලාව පොහොසත් නැත. පාඨක ඔබටත් මහා තරගයකට සහභාගී වීමේ භාග්‍යය උදා වී ඇත්නම් මා පවසන ඉගෙනීමට හැකි දේවල් කුමක්දැයි ඔබට තේරුම් ගත හැකි වනවාට කිසිදු සැකයක් නැත.

සැබැවින්ම ඔබ පාසල් දෙකක් අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරගයකට සහභාගී වී ඇත්නම් ඔබ වාසනාවන්තයෙකි. නමුත් ඔබ රාජකීය සාන්ත තෝමස් නිල් මහා සටනට සහභාගී වී ඇත්නම් ඔබ වාසනාවන්තයින් අතර සැබෑ වාසනාවන්තයෙකි.

මේ නිල් මහා සටන, එසේ නැතිනම් Battle of the Blues යන්න තවත් එක් පාසල් මහා ක්‍රිකට් තරගයක් නොවේ.

නිල් මහා සටන නමින් හඳුන්වන රාජකීයසාන්ත තෝමස් මහා ක්‍රිකට් ගැටුමට ඒ නම ලැබෙන්නට හේතු වී ඇත්තේ පාසල් දෙකේම ධජයන්හි නිල් පැහැය සටහන් වී ඇති නිසාය. මේ නිල් මහා සටන අනෙක් මහා ක්‍රිකට් තරග අතරේ සුවිශේෂී වන්නට හේතු කාරණා ගණනාවක්ම තිබේ.

ශ්‍රී ලංකාවේ පැරණිතම මහා ක්‍රිකට් තරගය වන එය, වර්තමානයේ නොයෙකුත් පාසල් අතර පවත්වන විවිධ මහා ක්‍රිකට් තරගවලට පූර්වාදර්ශය සැපයූ තරගය වේ. එසේම වර්තමාන සමාජයේ ආන්දෝලනාත්මක කතාබහක් ඇතිව තිබෙන සයිකල් පැරේඩ් වැනි මහා ක්‍රිකට් තරගය හා බැඳුන උප සංස්කෘතීන්වල ද පුරෝගාමීන් වන්නේ රාජකීය හා සාන්ත තෝමස් විදුහල් දෙකය.

ලෝක ඉතිහාසයේ විද්‍යාල දෙකක් අතර නොකඩවා පවත්වන දෙවන පැරණිතම මහා ක්‍රිකට් තරගය නිල් මහා සටනය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පවත්වන අළුබඳුන ක්‍රිකට් තරගාවලියටත් වඩා පැරණි ඉතිහාසයක් රාජකීය සාන්ත තෝමස් නිල් මහා සටනට තිබේ.

නිල් මහා සටනේ ආරම්භය සටහන් වන්නේ 1880 වසරේ දී ය. 1879 වසරේ දී මෙම පාසල් දෙක අතර පළමු මහා ක්‍රිකට් ගැටුම පැවැත්වූවද එම වසරේ දී පාසල් දෙකේම ගුරුවරුන් කණ්ඩායම නියෝජනය කිරීම නිසා තරගය සැබෑ ලෙසම ආරම්භ වූ වසර ලෙස සැලකෙන්නේ 1880 වසරයි. 

එකල රාජකීය විදුහල කලම්බු ඇකඩමි ලෙස හැඳින්වුන අතර සාන්ත තෝමස් විදුහල සාන්ත තෝමස් විද්‍යාලය, මුත්වාල් (මෝදර) නමින් හැඳින්විය.

මෙම පළමු නිල් මහා සටන පැවැත්වුනේ ගාළු මුවදොර ක්‍රීඩාංගණයේ දී ය. එකල ගාළු මුවදොර ක්‍රීඩාංගණ පිහිටා තිබුණේ වර්තමානයේ ටාජ් සමුද්‍රා හෝටලය පිහිටා තිබෙන ස්ථානයේය. දින තුනක් පුරාවට පවත්වා ඇති තරගය ආරම්භ කර ඇත්තේ සවස 4 ට පමණය.

එහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් කලම්බු ඇකඩමි කණ්ඩායම තම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 110ක් රැස්කරගෙන ඇත. පසුව සාන්ත තෝමස් විදුහල තම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 59ක් රැස් කරගෙන ඇත

තම දෙවන ඉනිම ක්‍රීඩා කළ කලම්බු ඇකඩමි කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කරගෙන ඇත්තේ ලකුණු 35ක් පමණි. ජයග්‍රහණට සඳහා ලකුණු 87ක ඉලක්කයක් හඹා ගිය සාන්ත තෝමස් විදුහල් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වී තිබෙන්නේ ලකුණු 24ක් පමණි.

ඒ අනුව පළමු නිල් මහා සටනින් ලකුණු 62ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට කලම්බු ඇකඩමි කණ්ඩායම එසේ නැත්නම් වර්තමාන රාජකීය විදුහල් කණ්ඩායම සමත් වී ඇත.

පසුගිය වසරේ, එනම් 2019 වසරේ පැවති මහා තරගය ජය ගැනීමට සමත් වූ සාන්ත තෝමස් විද්‍යාලය විසින් ජයග්‍රාහකයන්ට පිරිනැමෙන ඩී. එස්. සේනානායක අනුස්මරණ පළිහ තමා සතු කරගන්නට සමත් වූ අතර මේ වන විට කණ්ඩායම් දෙකම තරග 35 බැගින් ජයග්‍රහණය කර තිබීම නිසා මෙවර 141 වැනි වතාවට පැවැත්වීමට නියමිත නිල් මහා සටන ඉතා උණුසුම් එකක් විය හැක. 

තරගයේ උණුසුම කෙසේ වුවත් පිටියේ හතරේ සීමාවෙන් පිටත ඇති විනෝදය නම් මෙතෙකැයි කියා කිව නොහැක. එය ඉතා අතලොස්සකට පමණක් ලබා ගත හැකි අත්දැකීමකි.

මාර්තු මාසය ළං වන විට ලොකු කුඩා භේදයකින් තොරව සෑම රාජකීයයකු හා සාන්ත තෝමසුවකුගේම මුවගින් නිතර පිටවෙන වචනය බිග් මැච් බවට පත්වීම ඉතා සාමාන්‍ය කරුණකි. එසේම තමාට මග තොට දී මුණ ගැසෙන පාසල් සගයන්ගෙන් “මචං, බිග් මැච් එනවනෙ?” යනුවෙන් ඇසීමද මෙකල ඉතා සුලබය.

එසේම වසර පුරාවටම විවිධ වැඩ රාජකාරිවලින් හෙම්බත් වී සිටින ආදි සිසුන් ඇතැම් විට විදේශ රටවල්වල සිට පවා තම පැරණි මිතුරන් හා එක්වී විනෝද වීම සඳහා එස්.එස්.සී පිටියට පැමිණෙන බව රහසක් නොවේ.

එවැනි දහස් ගණනක් වන ප්‍රේක්ෂකයන් මධ්‍යයේ දින තුනක් පුරාවට පැවැත්වෙන නිල් මහා සටන අත දරුවා හට පොවන මව් කිරි වල පටන් සැරයටියෙන් පැමිණෙන වැඩිහිටියා අත රැඳෙන සීතල බියර් වීදුරු දක්වා සියලු පාන වර්ග වලිනුත්, අමරදේව ශූරීන්ගේ සම්භාව්‍ය සංගීත නිර්මාණයන්හි සිට මීගමු වැල්ලේ හැන්දෑවට ඇසෙන බයිලා සින්දු දක්වා සියලු සංගීතවලිනුත් පිරී ඇති අතර එක් එක් ප්‍රේක්ෂකාගාරයන් තුළ ලැබිය හැකි අත්දැකීම් එකකට එකක් වෙනස් ය.

පසුබිමෙන් ඇසෙන පපර බෑන්ඩ් සංගීතයේ තාලයට නර්තනයේ යෙදෙන නේක වර්ණ විලාසිතා වලින් සැදුම්ලත් තරුණ තරුණියන්ගෙන් සහ එකම වර්ගයේ ඇඳුම් ආයිත්තම් වලින් සැරසී, අත්වල නිල් හා රන්වන් පැහැයෙනුත් නිල් හා කළු පැහැයෙනුත් යුතු පොම් පොම් (Pom Pom) රඳවාගෙන තාලයට නර්තනයේ යෙදෙන දිරිගන්වන්නියන්ගෙන් (Cheerleaders) පිරුන ප්‍රේක්ෂකාගාරයන් සැබැවින්ම සැණකෙළි ස්වරූපයක් උසුලයි.

එසේ විවිධ ප්‍රේක්ෂක කණ්ඩායම් තමාට ආවේණික වූ සංගීත රටාවන් වලට නර්තනයේ යෙදිමින් තම මිතුරු කණ්ඩායම් හා ඇතැම්විට පවුලේ සාමාජිකයන් සමඟ රිසිසේ විනෝද වන අතරේ රාජකීය ධජය අතින් ගත් සාන්ත තෝමස් විද්‍යාලයේ ශිෂ්‍ය නායකයිනුත්, සාන්ත තෝමස් ධජය අතින් ගත් රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයිනුත් හතරේ සීමාවට එපිටින් පිටිය වටා ඇවිද යන ආකාරය හා පිටිය තුළ ඇති තරගකාරීත්වය හතරේ සීමාවෙන් ඔබ්බට ගිය විට සහෝදරත්වයක් බවට පත්වෙන මෙවැනි අවස්ථා ඒ දින තුන පුරාවටම ක්‍රීඩාංගනය තුළ ඉතා සුලබය.

මේ අතර පන්දු යවන්නෙකු කඩුල්ලක් දවා ගත් විට හෝ පිතිකරුවෙකු අර්ධ ශතකයක්, ශතකයක් වාර්තා කළ විට සකලවිධ පානයන්ගෙන් හා පපර සංගීත නාදයෙන් ඔද වැටී පිටිය වෙත කඩා වදින ප්‍රේක්ෂකයෙකුගෙන් ඉඳහිට එල්ල වන බාධාවක් හැරුණුකොට තරගය කිසිදු කලබලයකින් තොරව දින තුනක් පුරාවට ඇදී යයි. 

මේ දින තුන අවසානයේ තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් රාජකීයයන් හා සාන්ත තෝමසුවන් තරගය පැවැත්වෙන දින තුන පුරාවටම අමතක නොවෙන මතකයන් රැසක් තම ජීවිතවලට එකතු කර ගන්නා බවට කිසිදු සැකයක් නොමැත. එසේම තරුණ රාජකීයයන් හා සාන්ත තෝමසුවන් පොත පතින් ඉගෙන ගත නොහැකි බොහෝ දෑ මේ දින කිහිපය පුරාවටම ඉගෙන ගන්නා බවටද කිසිදු සැකයක් නොමැත.

රාජකීයයන් හා සාන්ත තෝමසුවන් පමණක් නොව අනෙකුත් පාසල්වල යෞවනයන්ද මේ මහා ක්‍රිකට් තරග සම්ප්‍රදායෙන් ලබන අත්දැකීම් හා සාමාජයීය පෝෂණය අති මහත් ය. මහා තරග සම්ප්‍රදාය පිළිබඳව දන්නා අයවළුන් මෙම මහා ක්‍රිකට් තරගයෙන් ජීවිතයට යම් වටිනාකමක් එක් කර ගනු ලැබුව ද, ඒ ගැන කිසිවක් නොදන්නා බොහෝ පාර්ශවයන් මහා තරග කෙරෙහි විවිධ චෝදනා සහ විවේචන එල්ල කිරීම මෙම කාලයේ ඉතා සුලබය. 

මේ චෝදනා එල්ල කරන බොහොමයක් පිරිස් මහා තරගයක් නැරඹීම තබා මහා තරගයක් යනු කුමක්ද යන්නවත් නොදන්නා අයවළුන් වීම කණගාටුදායකය.

ඒ චෝදනා එල්ල කරන සියල්ලන්ටම කිව හැකි, රාජකීය විදුහලේ බිත්තියක් තුළ සටහන් වී තිබූ එක් වදන් පෙළක් පමණක් අවසානයේ මෙසේ ලියා තබමි.

NO MATTER WHAT WHOEVER SAYS, WE WILL CONTINUE WITH OUR TRADITIONS.

(කවුරුන් කුමක් කීවත් කමක් නැත, අපි අපේ සම්ප්‍රදායන් සමඟ ඉදිරියට යන්නෙමු)

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<