පාකිස්තාන වේගපන්දු යවන්නාට සම්පූර්ණ සුව

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

182

ආබාධයක් නිසාවෙන් කලක් ක්‍රීඩා පිටියෙන් ඈත්ව සිටි පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Shaheen Afridi සිය පුනරුත්තාපන (සුව වීමේ) කාලය අවසන් කරමින් සම්පූර්ණ සුවය ලබා ඇති බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර සිටිනවා.

ඒ පිළිබඳව දැනුවත් කරමින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර තිබුණේ Shaheen Afridi එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන පුහුණු තරගය සඳහා සූදානම් බවත්, එම තරගයෙන් පසුව 23 වැනිදා ඉන්දියාව සමඟ පැවැත්වෙන ආරම්භක තරගය සඳහා ඔහුගේ යෝග්‍යතාව පරීක්ෂා කිරීමට සූදානම් බවත්ය.

“විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නැවත කණ්ඩායමට එක් වීමට ලැබීම සහ තරගාවලියේ මගේ කාර්ය කණ්ඩායමට කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. මම ගොඩක් ආදරේ කරන ක්‍රීඩාවෙන් ඈත්ව සිටි කාලය ඉතාමත් අමාරු දෙයක්.

මම පසුගිය දින කිහිපයේ කිසිදු ගැටලුවකින් තොරව පන්දුවාර හය අටක් යැව්වා. ඒ වගේම මම දැල තුළ පන්දු යැවීමේ සහ පිතිකරණයේ නිරත වුනා. ඒත් ඒ කිසි දෙයක් තරගයකට සමාන කරන්න බෑ,  ඒ නිසා මම නොඉවසිල්ලෙන් බලා සිටිනවා තරගයක් ක්‍රීඩා කරන්න.

ඒක හරි අසීරු වගේම අභියෝගාත්මක පුනරුත්තාපන වැඩසටහනක්. ඒත් මම එක ඉතාම හොඳින් අවසන් කළා. ඇත්තටම මට දැන් කලින්ට වඩා යෝග්‍ය බවක් දැනෙනවා. ඒ වගේම මට ක්‍රීඩා කරනකම් ඉවසිල්ලක් නෑ,” යැයි Shaheen Afridi ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් තරගයක් අතරතුර Shaheen Afridi ආබාධයකට ලක් වූ අතර ඉන්පසුව ඔහුට සති හයක පමණ කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදු වන බව පාකිස්තාන ක්‍රිකට් වෛද්‍ය බලධාරීන් ප්‍රකාශ කළා.

ඔහු ආසියානු කුසලානය සඳහා නම් කළ සංචිතයට ඇතුළත් වූවත් ඔහුගේ වෛද්‍ය වාර්තා එතරම් යහපත් නොවූ නිසා ඔහුට සිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා එංගලන්තයට යෑමට සිදු වුනා.

එහි දී වෛද්‍ය ප්‍රතිකාර ලැබූ Shaheen Afridi සම්පූර්ණ සුවය ලැබීම නිසා නැවතත් ලෝක කුසලානය සඳහා නම් කළ පාකිස්තාන සංචිතයට ඔහු ඇතුළත් වුනා.

පාකිස්තාන කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවෙකු ලෙස කටයුතු කරන Fakhar Zaman ආබාධයක් නිසාවෙන් ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඔහු ද Shaheenට ප්‍රතිකාර කළ වෛද්‍ය අධීක්ෂණය යටතේ එංගලන්තයේ දී ප්‍රතිකාර ලබනවා.

ආබාධය නිසාවෙන් ඔහුට එංගලන්තය සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය ද අහිමි වූ අතර ඔහුව ලෝක කුසලාන සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතයට නම් කර තිබෙනවා.

ඔහු මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුට ලෝක කුසලානයට එක් වීමට ලැබෙයි ද, නැද්ද යන්න තවමත් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වනවා.

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සංචිත මේ වන විට නිල වශයෙන් නම් කර තිබුනත්, තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය යටතේ එහි වෙනස් කම් සිදු කිරීමට කණ්ඩායම් සඳහා ඔක්තෝබර් 15 දක්වා අවස්ථාව හිමි වෙනවා.

එංගලන්තය හමුවේ මව් බිමේ දී ලැබූ තරග 4-3ක පරාජයෙන් පසුව පාකිස්තාන ක්‍රීඩකයින් මේ වන විට නවසීලන්තය සහ බංග්ලාදේශය සමඟ තුන්කොන් තරගාවලියකට නවසීලන්තයේ දී සහභාගී වෙමින් සිටී.

Espn Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<