සුපිරි වටයට පිවිසීමේ දී ශ්‍රී ලංකාවට අභියෝග කරන්නෝ

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

4364

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම දිනෙන් දින තීව්‍ර වෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු අභියෝගය වන්නේ සුපිරි 12 දෙනාගේ වටයට පිවිසීමයි.

ඊට සහභාගී වීමට නම් ශ්‍රී ලංකාව තමන් සහභාගී වන සුදුසුකම් ලබා ගැනීමේ වටයේ A කාණ්ඩයෙන් පළමු හෝ දෙවැනි ස්ථාන ලබා ගත යුතුයි.

ඒ සඳහා ඔවුන්ට නැමීබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නෙදර්ලන්තය සමඟ මේ වටයේ දී එකිනෙකා සමඟ තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියට එක් වෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල දී 8 වැනි ස්ථානයට පත් වෙමින්. එබැවින්, මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුගිය දක්ෂතා ද සමඟින් ඔවුන් සුපිරි 12 දෙනාගේ වටයට පිවිසෙනු ඇති බවට වන විශ්වාසය ඉතා ඉහළයි.

ඊට තවත් හේතුවක් වන්නේ ශ්‍රී ලංකාව සමඟ මෙම වටයේ දී හමුවෙන අනෙක් කණ්ඩායම් එම ලැයිස්තුවේ ශ්‍රේණිගතව සිටින ආකාරය අනුවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය 13 වැනි ස්ථානයටත්, නැමීබියාව 14 වැනි ස්ථානයටත් සහ නෙදර්ලන්තය 18 වැනි ස්ථානයටත් එම ලැයිස්තුවේ ශ්‍රේණිගතව සිටිනවා.

නැමීබියාව

විස්සයි විස්ස තරග ඉතිහාසයේ තරගමාලා 11කට පමණක් සහභාගී වී ඇති නැමීබියාව අවසන් වරට පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ද ශ්‍රී ලංකාව සමඟ A කාණ්ඩයෙන් සුපිරි වටයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය නියෝජනය කළා.

එහි දී පළමු ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවෙද්දී අයර්ලන්තය සහ නෙදර්ලන්තය අභිබවමින් නැමීබියාව දෙවැනි ස්ථානයට පත් වුනා. ඒ අනුව සහභාගී වූ සුපිරි 12 දෙනාගේ වටයේ දී Group 2 කාණ්ඩයෙන් තරග පිටියට පිවිසෙන නැමීබියාව, ස්කොට්ලන්තයට එරෙහිව ලත් ජයග්‍රහණයක් පමණක් සහිතව තරගාවලිය නිමා කළා.

නැමීබියාව මේ වෙද්දී ක්‍රීඩා කර ඇත්තේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 38කට පමණයි. ඉන් තරග 26ක් ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත්ව තිබෙනවා. පරාජිත තරග සංඛ්‍යාව 12ක්.

ලෝක කුසලාන තරගාවලියේ දී මෙම වටය නියෝජනය කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව සමඟ එක් තරගයක් ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ තරගයක් ද සහ නෙදර්ලන්තය සමඟ තරග 2ක් ද ක්‍රීඩා කර ඇති ඔවුන් ඉන් නෙදර්ලන්තයට එරෙහිව තරගයක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව තරගයක් ජයග්‍රහණය කරනවා. ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයේ ජයග්‍රහණය හිමි වෙන්නේ ශ්‍රී ලංකාවටයි.

නැමීබියා කණ්ඩායමේ නායක 27 හැවිරිදි Gerhard Erasmus තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් වර්ගීකරණය ලැබූ ක්‍රීඩකයෙක්. විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ තරග 38කට පමණක් ක්‍රීඩා කර ඇති ඔහු එම තරගවල දී ලකුණු 927ක් ලබා සිටිනවා. එය ශ්‍රේණිගත වන්නේ නැමීබියා විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ වැඩිම ලකුණුලාභියා ලෙසයි.

ඔහුට අමතරව Stephan Baard, David Wiese සහ Zane Green ද නැමීබියා කණ්ඩායමේ සුවිශේෂී පිතිකරුවන් සේ ලැයිස්තු ගතව සිටිනවා.

එරට වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නා ලෙසට පත් වෙන්නේ 28 හැවිරිදි වමතින් වේගපන්දු යවන Jan Frylinck. ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 51ක්.

ඔහුට අමතරව වමතින් දඟපන්දු යවන 32 හැවිරිදි Bernard Scholtz සහ 26 වියේ පසුවෙන වමතින් මද වේගපන්දු යවන Johannes Jonathan Smit හෙවත් JJ Smit ඔවුන්ගේ පන්දු යවන්නන්ගේ බලඇණියේ ශක්තිමත් සෙබළුන් ලෙසින් වර්ගීකරණය කළ හැකියි.

නැමීබියා සංචිතය

Gerhard Erasmus (නායක), Stephan Baard, Karl Birkenstock, Jan Frylinck, Zane Green, Divan la Cock, Jan Nicol Loftie-Eaton, Lo-handre Louwrens, Tangeni Lungameni, Bernard Scholtz, Ben Shikongo, JJ Smit, Ruben Trumpelmann, Michael van Lingen, David Wiese, Pikky Ya France

එක්සත් අරාබි එමීර් රාජ්‍යය

2014 වසරේ සිටි විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියට එක් වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍ය මේ දක්වා ක්‍රීඩා කර ඇති විස්සයි විස්ස තරග සංඛ්‍යාව 66ක්. ඉන් තරග 33ක් ජයග්‍රහණය කරන ඔවුන් තරග 32ක දී පරාජයට පත් ව ඇති අතර එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් කරනවා.

සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් අතරින් මෙතෙක් ශ්‍රී ලංකාව සහ නැමීබියාව සමඟ එක් තරගයක දී පමණක් මුහුණ දී ඇති ඔවුන් එම තරග දෙකම නිමා කරන්නේ පරාජයට පත් වෙමින්. ඊට අමතරව නෙදර්ලන්තය සමඟ තරග 8ක් ක්‍රීඩා කර ඇති ඔවුන් ඉන් තරග 4ක් ජයග්‍රහණය කරද්දී තරග 4ක් පරාජයට පත් ව තිබෙනවා.

කේරළයේ උපත ලබා මේ වන විට 34 හැවිරිදි වියේ පසුවෙන Chundangapoyil Rizwn එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ නායකයායි. මේ දක්වා ඔහු ක්‍රීඩා කර ඇත්තේ විස්සයි විස්ස තරග 12කට පමණයි. එහි දී ඔවුගේ දක්ෂතාව එක් නොදැවුණ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 218ක්.

එසේ වූවත් ඔහු සහභාගී වූ අවසන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 5 දී ඉනිම් 4ක දී ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 118ක්. එහි සාමාන්‍ය 39.33ක්. ඔහු මෙතෙක් ක්‍රීඩා කළ අවසන් ඉනිම බංග්ලාදේශයට එරෙහිව වන අතර එහි දී ඔහු නොදැවී ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වෙනවා. එම ඉනිම ඔහුගේ විස්සයි විස්ස තරග දිවියේ ඉහළ ම දක්ෂතාවයි.

කණ්ඩායමේ පිතිකරුවන් ලෙසින් වඩාත් විශ්වාසය දිනා ඇත්තේ ඉන්දියාවේ උපත ලද Chirag Suri වෙතයි. 27 හැවිරිදි දකුණතින් පිත්ත හසුරුවන Suri කණ්ඩායමේ ආරම්භක පිතිකරුවායි. ඔහු මේ දක්වා විස්සයි විස්ස තරග 29කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 7ක් සමඟින් ලකුණු 791ක් ලබා සිටිනවා.

ඔහුට අමතරව තම විස්සයි විස්ස තරග ඉතිහාසයේ අයර්ලන්තයට එරෙහිව ශතක 2ක් වාර්තා කරමින් තරග 17ක දී ලකුණු 650ක් ලබා 40.62ක සාමාන්‍යයක් රඳවා ගෙන සිටින  Muhammad Waseem ද මෙම ලැයිස්තුවේ ඉහළින් ම රැඳී සිටිනවා.

උප නායක Vriitya Aravind සහ Basil Hameed ද එක්සත් අරාබි එමීර් රාජ්‍ය ලකුණු පුවරුව ශක්තිමත් කරන පිතිකරුවෝ ලෙසින් වර්ගීකරණයට ලක්ව සිටිනවා.

පන්දු යවන්නන් අතරින් 33 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන Zahoor Khan වෙත හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඔහු මේ දක්වා විස්සයි විස්ස තරග 34කට ක්‍රීඩා කරමින් කඩුලු 41ක් ලබා සිටිනවා. එය එක්සත් එමීර් රාජ්‍ය ක්‍රිකට් ඉතිහාසයේ පන්දු යවන්නන්ගේ දක්ෂතා අතර 2 වැනි ස්ථානයට පත් ව තිබෙනවා.

ඔහුට අමතරව 34 හැවිරිදි වමතින් දඟපන්දු යවන Ahmed Raza සහ දකුණතින් වේගපන්දු යවන 29 හැවිරිදි පාකිස්තානයේ උපත ලද Junaid Siddique ද විශ්වාසවන්ත පන්දු යවන්නෝ බවට පත්ව සිටිනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සංචිතය

Chundangapoyil Rizwn (නායක), Vriitya Aravind (උප නායක), Aayan Afzal Khan, Ahmed Raza, Aryan Lakra, Basil Hameed, Chirag Suri, Junaid Siddique, Kashif Daud, Karthik Meiyappan, Muhammad Waseem, Sabir Ali, Alishan Sharafu, Zahoor Khan, Zawar Farid

නෙදර්ලන්තය

2008 වසරේ සිට විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වී ඇති නෙදර්ලන්තය මේ දක්වා තරග 90කට සහභාගී වී තිබෙනවා. ඉන් තරග 45ක් ජයග්‍රහණය කරන ඔවුන් තරග 40ක් පරාජයට පත්ව තිබෙනවා. ඒ අතර තරග 2ක් ලකුණු සම වීමෙන් අවසන් කරද්දී තවත් තරග 3ක් විසඳුමකින් තොරව නිමා කර තිබෙනවා.

පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ද නෙදර්ලන්තය A කාණ්ඩයෙන් සුපිරි 12 දෙනා අතරට පිවිසීමේ උත්සාහක වටය නියෝජනය කළා. එහි දී ඔවුන්ට කිසිදු තරගයක් ජයග්‍රහණය කිරීමට නොලැබෙන අතර එම වටයෙන් ම ඔවුන්ගේ ලෝක කුසලාන ගමන නිමා වෙනවා.

නමුත් ඔවුන් මෙවර මෙම වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නේ සිම්බාබ්වේ දී පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ B කාණ්ඩයේ පළමුවැනියා වෙමින් සහ එම තරගාවලියේ අනුශූරයන් වෙමින්. ඒ හේතුවෙන් ඔවුන්ගේ වැඩි දක්ෂතා මෙවර මේ වටයේ දී බලාපොරොත්තු විය හැකියි.

26 වැනි වියේ පසුවෙන නෙදර්ලන්ත නායක Scott Edwards කණ්ඩායමේ කඩුලු රකින්නා ද වෙනවා. මේ දක්වා විස්සයි විස්ස තරග 43කට ක්‍රීඩා කර ඇති ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 523ක්. කඩුල්ල පිටුපස සිටිමින් කඩුලු 38ක් දවා ගැනීමට දායකත්වය දක්වා තිබෙනවා.

නෙදර්ලන්ත කණ්ඩායමේ සිටින වඩාත්ම භයානක පිතිකරු වන්නේ 28 හැවිරිදි දකුණතින් පන්දුවට පහර දෙන Max O’Dowd. ඔහු මේ දක්වා විස්සයි විස්ස තරග 50කට ක්‍රීඩා කරමින් ලකුණු 1347ක් ලබාගෙන තිබෙනවා. ඊට මැලේසියාවට එරෙහිව නොදැවී ලබා ගන්නා ලද ලකුණු 133ක් සහ අර්ධ ශතක 9ක් ඇතුළත්.

ඊට අමතර ව Stephan Myburgh සහ Tom Cooper ද නෙදර්ලන්ත ඉනිම් ශක්තිමත් කරන පිතිකරුවෝ ලෙසින් හැඳින්වෙනවා.

සංචිතයට එක් වූ පන්දු යවන්නන් අතරින් ඉහළින් ම වර්ණනා වෙන්නේ දකුණතින් වේගපන්දු යවන 29 හැවිරිදි Paul van Meekeren. ඔහු මේ දක්වා විස්සයි විස්ස තරග 50කට ක්‍රීඩා කරමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 53ක්. එය නෙදර්ලන්ත විස්සයි විස්ස තරග ඉතිහාසයේ වැඩිම කඩුලුලාභීන් අතර දෙවැනි ස්ථානයට පත් වෙනවා.

ඔහුට අමතරව තවත් දකුණතින් වේගපන්දු යවන්නෙක් වන Timm van der Gugten සහ වමතින් ද‍ෙපන්දු යවන Roelof van der Merwe ද ඔවුන්ගේ පන්දු යැවීමේ බල ඇණිය ශක්තිමත් කිරීමට බලා සිටිනවා. Merwe තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් දක්ෂතා දැක්වීම ද ඔවුන්ට තවත් වාසියක්.

නෙදර්ලන්තය සංචිතය

Scott Edwards (නායක), Colin Ackermann, Tom Cooper, Bas de Leede, Brandon Glover, Fred Klaassen, Stephan Myburgh, Teja Nidamanuru, Max O’Dowd, Tim Pringle, Shariz Ahmad, Logan van Beek, Timm van der Gugten, Roelof van der Merwe, Paul van Meekeren, Vikramjit Singh

මේ සියලු දක්ෂතා සමඟින් ඔවුන්ගේ තරග වටය මේ මස 16 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

A කාණ්ඩයේ තරග කාලසටහන

දිනය තරගය
ඔක්තෝබර්

16

ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර Geelong හිදී (දිවා/රාත්‍රී)
නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර Geelong හිදී (රාත්‍රී)
ඔක්තෝබර්

18

නැමීබියාව සහ නෙදර්ලන්තය අතර Geelong හිදී (දිවා/රාත්‍රී)
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර Geelong හිදී (රාත්‍රී)
ඔක්තෝබර්

20

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර Geelong හිදී (දිවා/රාත්‍රී)
නැමීබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර Geelong හිදී (රාත්‍රී)

තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<