ලෝක කුසලානය අභියස සිම්බාබ්වේ පුහුණුකරු ධුරයෙන් ඉවත් වෙයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

902

සිම්බාබ්වේ පිතිකරණ පුහුණුකරු Lance Klusener සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ ඇතිවූ එකඟතාවයකින් පසුව හිටපු දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩකයා මෙම තීරණය ගෙන තිබෙනවා. ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයට දින කිහිපයකට පෙර මෙම තීරණය ගැනීම විශේෂත්වයක්.

සිය වෘත්තීමය දිවිය ලෝකයට තව තවත් නිරාවරණය කිරීම Klusenerගේ අභිප්‍රාය වී ඇති බවට වාර්තා වනවා.

සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය (ZC) සමඟ පැමිණි එකඟතාවයකින් අනතුරුව Lance Klusener වහාම ක්‍රියාත්මක වන පරිදි සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ධුරයෙන් ඉවත් වී තිබෙනවා.

ඔහුගේ නියෝජිතයා සඳහන් කළ පරිදි ලෝකය තුල අනෙකුත් කණ්ඩායම් සඳහා ඔහුගේ දායකත්වය ලබා දීම සිදුවෙන අතරතුර සිම්බාබ්වේ ජාතික කණ්ඩායමට පූර්ණ කාලීනව සේවය කිරීමට ඔහුට නොහැකි වී තිබෙනවා,” යනුවෙන් සිම්බාබ්වේ ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නිල නිවේදනයේ සඳහන් වෙනවා.

ඕස්ට්‍රේලියාවේ මේ වන විටත් පුහුණුවීම් ආරම්භ කර තිබෙන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම ඇතුළු Lance Klusener ඔහුගේ ධුර කාලය තුළ අපට ලබා දුන් සියලුම දේවල්වලට අප ස්තුතිවන්ත විය යුතුයි,” යනුවෙන් සිම්බාබ්වේ ක්‍රිකට් කළමනාකරණ අධ්‍යක්ෂ Givemore Makoni පවසා තිබෙනවා.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු, “අවාසනාවන්ත ලෙස ලෝකය පුරා අනෙකුත් කණ්ඩායම්වලට ඔහුගේ දායකත්වය ලබා දීමත් සමඟ පූර්ණ කාලීනව අප සමඟ කටයුතු කිරීමට නොහැකි වී තිබෙනවා. නමුත් අපි ඔහුගේ ඉදිරි වෘත්තීය කටයුතුවල සුබ පැතුම් එක් කරනවා,” යනුවෙන් පැවසුවා.

2016-2018 කාල වකවානුව අතරතුර සිම්බාබ්වේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව නැවතත් ඔහු එම ධුරයට එක් වූයේ පසුගිය මාර්තු මාසයේයි.

සිම්බාබ්වේ කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානය තුල පළමු වටයේ දී අයර්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්තය සමඟ තරග වැදීමට නියමිත අතර ඔවුන්ගේ පළමු සංග්‍රාමය ඔක්තෝබර් 17 වැනිදා අයර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතයි.

විස්සයි විස්ස ලෝක කුසලානයේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<