මහගෙදරම ආරම්භ වූ නූතන ඔලිම්පික් උළෙල

ඔලිම්පික් උළෙලේ ගමන් මග 02

898

පුරාවෘත්තයන් හා මුසු වූ පුරාතන ඔලිම්පික් උළෙල අවසන් වීමෙන් අනතුරුව බොහෝ හේතු නිසාවෙන් 19 සියවසේ අග භාගය වනතුරුම ලොව සියලු දෙනා එකතු කරමින් කිසිදු ස්ථානයක එවැනි ක්‍රීඩා උළෙලක් පැවැත්වීමට හැකි වූයේ නැත. 

හර්කියුලිස් බිහි කළ ඔලිම්පික් උළෙලේ ආරම්භය

“ඔලිම්පික් ක්‍රීඩා උළෙල” ලොව ප්‍රධානම සහ පැරණිතම ක්‍රීඩා මංගල්‍යය ලෙස හැඳින්විය හැකි. සෑම වසර 4කට වරක්ම පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා …

නමුත් ඔලිම්පික් උළෙලට නව පණක් ලබා දෙන්නාක් මෙන් 1796 වසරේ සිට 1798 වසර දක්වා වාර්ෂිකව “L’Olympiade de la République” නමින් ජාතික ඔලිම්පික් උළෙලක් විප්ලවකාරි ප්‍රංශයේ දී පවත්වන ලදි. එහි පැවති සමහර නීති රීතින් පුරාතන ඔලිම්පික් උළෙල අනුසාරයෙන් සැකසුණු ඒවා වූ අතර 1976 වර්ෂයේ දී ප්‍රථම වරට මෙට්‍රික් ඒකක ක්‍රමය හඳුන්වා දෙන ලදි. 

එමෙන්ම වර්ෂ 1850 දී වෛද්‍ය විලියම් පෙනී බෘක්ස් විසින් එංගලන්තයේ ශ්‍රොප්ෂයර් හී මච් වෙන්ලොක් නගරයේ දී ඔලිම්පික් උළෙලක් පැවැත්වූ අතර ඔහු විසින් වර්ෂ 1859 දී එතෙක් වාර්ෂිකව පැවති එම ක්‍රීඩා උළෙල “වෙන්ලොක් ඔලිම්පීය ක්‍රීඩා” යනුවෙන් නම් කරන ලදි. එමෙන්ම ඔහු විසින් වර්ෂ 1850ක් වූ නොවැම්බර් 15 වැනි දින වෛද්‍ය බෘක්ස් “වෙන්ලොක් ඔලිම්පීය සමාජය” පිහිටු වීය.

ප්‍රංශයේ පැවති L’Olympiade de la République නම් ඔලිම්පික්  උළෙල ( Source : wikipedia)

එලෙස ලොවේ වෙනත් ස්ථානයක ඔලිම්පික් නැගී සිටීමට පදනම වැටෙන විට ඔලිම්පික් හිමිකරුවන් බඳු වූ ග්‍රීක වැසියන් ද නැවතත් ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට අවධානයෙන් සිටින්නට විය. 

වර්ෂ 1821 දී ඔවුන් ඔටෝමන් අධිරාජ්‍යයාගෙන් නිදහස ලැබීම පිණිස පැවැත්වූ ග්‍රීක යුද්ධයෙන් පසුව ඔවුන්ට නැවතත් ඔලිම්පික් උළෙලක් සඳහා පණ දීමට ඇති උනන්දුව වැඩි වූ අතර ඔවුන්ගේ කවියෙකු හා පුවත්පත් සංස්කාරයෙකු වූ “Panagiotis Soutsos” විසින් 1833 වසරේ දී පළකරන ලද “Dialogue of the Dead” කවිය තුළින් ප්‍රථම වරට ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට යෝජනා කර තිබුණි.  

එවැනි පසුබිමක් “Evangelis Zappas” නම් ග්‍රීක – රෝමානු ජනහිතකාමියා 1856 වසරේ දී ග්‍රීසියේ ඔටෝ රජු වෙත ලිපියක් ලියමින් තමන් ඔලිම්පික් උළෙලේ පුනර්ජීවනය උදෙසා අරමුදලක් පිහිටුවීමට කැමති බව දැනුම් දුන්නේය. ඒ අනුව ඉතා දීර්ඝ කාලයකට පසු ග්‍රීසියේ ඇතෑන්ස් නුවර චතුරශ්‍රයේ දී පැවති “Zappas Olympics” නම් ඔලිම්පික් උළෙල සඳහා ඔහු අනුග්‍රාහකත්වය දැක්වීය. 

එම ඔලිම්පික් උළෙල සඳහා ග්‍රීසිය සිය සහභාගීත්වය ලබා දෙන ලදි. ඒ සමඟම ඔහු ඇතෑන්ස් නුවර පිහිටි “Panathenaic stadium” නම් ක්‍රීඩාගාරය ප්‍රතිසංස්කරණයට දායකත්වය දැක්වූ අතර එය පසු කාලයේ තරගාවලි සඳහා ක්‍රීඩාගාරය ලෙස භාවිතා කිරීමට හැකි විය. 

එලෙස ග්‍රීක වැසියන් ද ඔලිම්පික් උළෙලට පණ පෙවීමට පටන් ගෙන සිටින මොහොතක වර්ෂ 1862 දී ලිවර්පූල් හිදී වාර්ෂිකව මහා ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට ජෝන් හලී සහ චාල්ස් මෙලී යන අය කටයුතු කළහ. එම උළෙල මුළුමනින්ම ආධුනික තරගකරුවන්ට සහභාගී වීමට හැකි අයුරිනුත්, ජාත්‍යන්තර වශයෙන් කැපී පෙනෙන ලෙසත් සංවිධානය කර තිබිණි. 

ආරම්භ කෙරූ පිම්මේ තවත් පියවරක් තැබුවාක් මෙන් හලී, බෘක්ස් සහ ඊ. ජී. රේව්ස්ටින් විසින් “ජාතික ඔලිම්පීය සංගමය” 1865 වසරේ දී ලිවර්පූල් හි පිහිට විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1866 දී ජාතික ඔලිම්පික් ක්‍රීඩා උළෙල බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර “The Crystal Palace” හිදී පැවැත්වීමට කටයුතු සම්පාදනය විය.

නැවතත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල් හිස ඔසවමින් පවතින අතරතුර දී 1870 සහ 1875 යන වර්ෂවල දී ඔලිම්පික් උළෙලවල් “Panathinaiko Stadium” හි පැවැත්වීම කැපී පෙනුනි. 1870 වසරේ ඔලිම්පික් උළෙල සඳහා තිස්දාහකට ආසන්න ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් පැමිණි බව වාර්තා වුවත් 1875 වසරේ කොතරම් සංඛ්‍යාවක් සහභාගී වූවාද යන්න වාර්තා කිසිවක් නොමැත.

Panathinaiko Stadium

වර්ෂ 1890 දී වෙන්ලොක් ඔලිම්පීය සංගමය මඟින් පැවැත්වූ ඔලිම්පික් උළෙලට සහභාගී වූ පියරේ ද කුබර්ටීන් නම් වංශාධිපතිවරයා “අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC)” පිහිටුවීමට මුල්තැන ගෙන කටයුතු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1894 වසරේ එය පිහිටුවීමට හැකි විය. 

කුබර්ටීන්ගේ අදහස්වලින් සහ බෘක්ස් සහ සැප්පාස් යන අයගේ දායකත්වයෙන් වසර හතරක් පුරා එක් රටකට සීමා නොවී ලොව පුරා ගමන් කරන ඔලිම්පික් තරගාවලියක් ආරම්භ කරන ලදි. 

එලෙස පිහිටවනු ලැබූ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ මුල්ම සැසිවාරය 1894 වසරේ ජුනි 16 වැනිදා සිට 23 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවර සෝබෝන් විශ්වවිද්‍යාලයේ දී පැවැත්වූ අතර කුබර්ටීන් විසින් තම අදහස් එම සැසිවාරයේ දී ඉදිරිපත් කරන ලදි. 

එම කමිටුවේ මුල්ම සභාපතිවරයා ලෙස ග්‍රීක ලේඛක දිමිත්‍රියස් වික්ලාස් පත්වූ අතර එම සමුළුවේ අවසාන දිනයේ දී කමිටුවේ අනුග්‍රහයෙන් 1896 වසරේ දී ඔලිම්පික් මහගෙදර වූ ග්‍රීසියේ ඇතෑන්ස් නුවර මුල්ම ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට තීරණය කරන ලදි. 

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නව පිටුවක් පෙරළමින් ආරම්භ වීමට නියමිතව තිබූ 1896 වසරේ පළමු ඔලිම්පික් උළෙලේ වැඩ කටයුතු, තමන් කෙරෙහි ඉතා විශ්වාසයක් ගොඩ නගමින් අනාගත තරගාවලීන් සඳහා ද ග්‍රීක රජයේ මූල්‍ය දායකත්වය ගැනීමට හැකි පරිදි සිදු කිරීමට සැප්පාස් සහ ඔහුගේ ඥාති සොහොයුරෙකු වූ කොන්ටෙයිනොස් සැප්පාස් සමත් වූහ. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආරම්භයට පෙර සිදු කළ ක්‍රීඩාගාර නඩත්තු කිරීම සඳහා ජෝර්ජ් ඇවරෝෆ් දායකත්වය සපයන ලදි. ප්‍රවේශපත් හා සමරු මුද්දර විකුණා ලැබෙන ආදායමෙන් පියවා ගන්නා ආකාරයට ග්‍රීක රජය ද අරමුදල් ලබා දෙන ලදි.

1896 නූතන ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙල

ඉන්පසුව ග්‍රීසියේ ඇතෑන්ස් නුවර දී රටවල් 14ක ක්‍රීඩකයන් 241ක සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර තරග අවස්ථා 43ක් සඳහා ඔවුන් ඉදිරිපත් විය. තම රටෙහි ඔලිම්පික් උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් ග්‍රීක ජනතාව මහත් සතුටට පත්වූ අතර සෑම ඔලිම්පික් උළෙලක්ම ඇතෑන්ස් නුවර පැවැත්වීමට යෝජනා ද එන්නට විය.

නමුත් එම යෝජනා එකහෙළාම ප්‍රතික්ෂේප කළ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කර සිටියේ ඔලිම්පික් උළෙල එක් තැනකට සීමා නොවී ලොව පුරා ගමන් කළ යුතු බවයි.  

නූතන ඔලිම්පික් උළෙලෙන් පසුව සිදු වූ විකාශනය සහ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න, ThePapare.com සමඟින්.

මූලාශ්‍ර: 

  1. Wikipedia

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<