සීක්කුගේ ප්‍රසන්නත් නේපාලයට

එවරස්ට් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

782

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න නේපාලයේ පැවැත්වීමට නියමිත එවරස්ට් ප්‍රිමියර් ලීග් (EPL) ක්‍රිකට් තරගාවලිය සඳහා ගිවිසුම් ගත වී තිබෙනවා.

සිව්වැනි වරටත් පැවැත්වෙන EPL ක්‍රිකට් තරගාවලියේ තරග වදිනු ලබන කණ්ඩායම් 6 අතරින් සීක්කුගේ ක්‍රීඩා කිරීමට නියමිතව සිටින්නේ Chitwan Tigers සමඟයි.

36 හැවිරිදි වියේ පසුවන දකුණත් පා දඟපන්දු යවන්නෙකු වන සීක්කුගේ කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය, පාකිස්තාන සුපර් ලීගය, බංග්ලාදේශ ප්‍රිමියර් ලීගය වැනි තරගකාරී විදෙස් ක්‍රිකට් ලීග් කිහිපයකම ක්‍රීඩා කර තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

සීක්කුගේ ප්‍රසන්න කියන්නේ තරගයක් වෙනස් කිරීමේ හැකියාව තිබෙන ක්‍රීඩකයෙක්. පන්දු යැවීම, පන්දුවට පහර දීම සහ පන්දු රැකීම යන තුන් ඉරියව්වෙන්ම ඔහුට දක්ෂතා දක්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වගේම විදෙස් ලීගවලටත් ක්‍රීඩා කරලා විශාල අත්දැකීම් ප්‍රමාණයක් තිබෙනවා. ඒ සියලු කරුණු කාරනා සලකා බලලා තමයි ඔහුව අපේ Chitwan Tigers කණ්ඩායම වෙනුවෙන් තෝරාගත්තේ” ,යැයි Chitwan Tigers කණ්ඩායමේ හිමිකරු වන Kishor Bhattarai මහතා ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 40ක් සහ විස්සයි විස්ස තරග 20ක් ක්‍රීඩා කර තිබෙන සීක්කුගේ Chitwan Tigers වෙනුවෙන් ක්‍රීඩා කරන විට, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන දිනේෂ් චන්දිමාල් Bhairahawa Gladiators වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

මීට පෙර 2017 වසරේ දී පැවති EPL තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් Kathmandu Kings කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා.

එවරස්ට් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ප්‍රථම වරට 2016 දී ආරම්භ වූ අතර එය අවසන් වරට පැවැත්වුණේ 2018 වසරේ දීයි. ඒ අනුව තරගාවලියේ සිව්වැනි අදියර වන මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ වසර තුනක විරාමයකින් පසුව වීම විශේෂ වෙනවා. සැප්තැම්බර් 25 වැනිදා ආරම්භ වීමට නියමිත 2021 EPL තරග වාරය ඔක්තෝබර් 9 වැනිදායින් අවසන් වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<