අර්ජුනගේ ‘දෙවන පෙළ’ ප්‍රකාශයට Chopraගෙන් සැර පිළිතුරක්!

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

1269

ශ්‍රී ලංකාවට එරෙහිව මෙරට දී ක්‍රියාත්මක වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලිය සඳහා නම් කළ ඉන්දීය සංචිතය සම්බන්ධයෙන්  සෑහීමකට පත්විය නොහැකි බව පසුගිය දිනෙක අවධාරණය කර සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා එහි දී සඳහන් කර සිටියේ දෙවැනි පෙළ ඉන්දීය කණ්ඩායමක් තරග සංචාරයට යොදාගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් හට සිදු කරන අගෞරවයක් ලෙසයි.

කෙසේ නමුත් තරගාවලියේ පළමු අදියර ආරම්භ කරමින් පසුගිය ඉරිදා (18) දිනයේ දී පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු හතක පහසු සහ විශිෂ්ට ජයක් අත්පත් කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දැක්වූ අතර ජ්‍යෙෂ්ඨ සහ නවක ක්‍රීඩක සම්මිශ්‍රණයකින් සැදුම්ලත් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ නායක Shikhar Dhawanගේ පරිණතභාවය පිළිබඳව ද බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය.

තරගාවලියට පෙරාතුව ඉන්දීය කණ්ඩායම සම්බන්ධයෙන් අර්ජුන රණතුංග මහතා සිදු කළ ප්‍රකාශයන් කිහිපයක් ඇතැම් ක්‍රිකට් විචාරකයින්ගේ දෝෂදර්ශනයට ලක්වූයේ රණතුංග මහතා පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරුවට ලක් කරමින් ඉන්දීය සංචිතය නම් කර නොමැති බවට තෝරාපත් කරගෙන ඇති ක්‍රීඩක නාමාවලිය දෙස බැලූ විට අවබෝධ කරගත හැකි බව සඳහන් කරමිනි.

තවත් ක්‍රිකට් පුවත්:

පළමු තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව තරගයේ සාරාංශ ගත විග්‍රහයක් තම YouTube නාලිකාවට එකතු කරමින් ප්‍රවීණ ඉන්දීය විස්තර විචාරක Akash Chopra මහතා පවසා සිටියේ අර්ජුන රණතුංග මහතා අධිතක්සේරුවෙන් සිදු කළ ප්‍රකාශයට සාර්ථක පිළිතුරක් ලබා දීමට තරුණ ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණු බවයි.

“තරුණ ඉන්දීය ක්‍රීඩකයින් තමන්ගේ හැකියා දක්ෂතාවන් වචනෙට විතරක් සීමා කරන්නේ නැතිව ක්‍රියාවෙනුත් ඔප්පු කරලා පෙන්නුවා. මේ කණ්ඩායම දැනටමත් දන්නවා සත්කාරකයින්ව නිහඬ කරල තියාගන්න ඕනෑ ක්‍රමවේදය. පළමු තරගයේ දී අංශ තුනෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පසු කර යන්න අපිට පුළුවන් වුනා විතරක් නෙමෙයි ඇතැම් හිටපු ක්‍රීඩකයින්ගේ විවේචනවලටත් සාර්ථක පිළිතුරක් ලබා දෙන්න පුළුවන්කම ලැබුණා.”

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තම ඉනිම අවසානයේ දී ලකුණු 263ක ඉලක්කයක් හඹා යෑම සඳහා ප්‍රබල ඉන්දීය පිතිකරණ ලැයිස්තුව වෙත ආරාධනය කළ අතර Prithvi Shaw, Shikhar Dhawan සහ සිය මංගල එක්දින තරගය ක්‍රීඩා කළ Ishan Kishan තුන්කට්ටුව එක්ව දියත් කළ අගනා ප්‍රහාරාත්මක ඉනිම් කිහිපය නිසාවෙන් වැඩි ආයාසයකින් තොරව තරගයේ ජය තහවුරු කරගැනීමට ඉන්දීය ක්‍රීඩකයින් සමත් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<