සමන් අබේවර්ධන ජීවන ගමනට සමුදෙයි

3670

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නියෝජ්‍ය ලේකම් මෙන්ම ජාතික තරුණ සේවා සභාවේ සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කළ සමන් අබේවර්ධන මහතා හදිසියේ අභාවප්‍රාප්ත වූ බැව් ThePapare.com සාතිශය සංවේගයන් යුතුව දැනුම් දෙමු.

මිය යන විට ඒ මහතා 57 වැනි වියේ පසු විය.

වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ විවිධ නිලතල දරමින් කටයුතු කළ ඒ මහතා මෙරට වොලිබෝල් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් දැඩි දායකත්වයක් දැක් වූ මානව හිතවාදියෙකි. ක්‍රීඩකයන්, ක්‍රීඩා බලධාරින් සේ ම ක්‍රීඩා මාධ්‍යවේදීන් ඇතුළු සැමගේ ගෞරවයට පාත්‍ර වූ ඒ මහතා ඒ සෑම පාර්ශ්වයක් සමඟින්ම සුහදව කටයුතු කළේය.

2018 වසරේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිවරයෙක් ලෙසින් ද කටයුතු කළ ඒ මහතා අවස්ථා කිහිපයක දී ම ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ කළමනාකරු ලෙස ද කටයුතු කරමින් අමිල මෙහෙවරක නිරත වූයේය.

එමෙන්ම ජාතික තරුණ සේවා සභාව මඟින් පැවැත්වූ යෞවන ක්‍රීඩා උළෙලවල දී  සෑම අංශයක්ම මනා කළමනාකාරීත්වයකින් යුතුව පෙළ ගැස්වීමට ද ඒ මහතා දැක්වූවේ අපූරු නිපුණතාවයකි.

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙක් ද වූ ඒ මහතා ප්‍රවීන වොලිබෝල් ක්‍රීඩකයකු මෙන්ම පුහුණුකරුවකු ලෙසින් ද කලක් කටයුතු කළේය.

නැසී ගිය සමන් අබේවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මේ මස 16 වැනි ඉරිදා දින ප.ව. 3.30ට බියගම, සියඹලාපේවත්ත පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.

සමන් අබේවර්ධන මහතාට උතුම් නිර්වාණ සුවය ලැබේවා’යි ThePapare.com අප ප්‍රාර්ථනා කරන අතර ඔහුගේ පවුලේ සැමට සහ හිත මිතුරන්ට අපගේ සාතිශය සංවේගය පුද කර සිටින්නෙමු.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<