විස්සයි විස්ස ලෝක කිරුළට පෙරගමන් යන සිංහ පැටව්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

267

තවත් නොබෝ දිනකින් ඕස්ට්‍රේලියාවේ දී ආ‍රම්භ වීමට නියමිත ICC විස්සයි විස්ස ලෝක කුසලානයට මේ වන විට සියලු කටයුතු සූදානම්.

මීට සහභාගී වන කණ්ඩායම් අතරින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියට එක්වන්නේ පළමු වටයේ තරග වැදීමට නියමිත කණ්ඩායමක් වශයෙනුයි. එම වටයේ දී Group A ඔස්සේ ඔවුන් තරග වදින්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෙදර්ලන්තය හා නැමීබියාව යන කණ්ඩායමේ 3 සමඟයි.

ඒ මෙවර තරගාවලියේ දී කෙළින්ම මුල් කණ්ඩායම් 8 අතරට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අසමත් වීම හේතුවෙන් දෙවැනි වටයට (Super 12) සුදුසුකම් ලැබීම සඳහායි. Group A හා Group B ඔස්සේ කණ්ඩායම් 4 බැගින් තරග වදින අතර ඉන් කණ්ඩායම් දෙක බැගින් Super 12 වටයට සුදුසුකම් ලබනු ඇත.

ශ්‍රී ලංකාව පළමු වටයේ දී Group A හි අංක එක කණ්ඩායම වශයෙන් Super 12 වටයට සුදුසුකම් ලැබුවහොත් ඔවුන් Group 1 හි ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය හා ඇෆ්ගනිස්තානය සමඟ දෙවැනි වටය තරග වැදීමට සුදුසුකම් ලබන අතර අංක දෙක කණ්ඩායම වශයෙන් සුදුසුකම් ලැබුවහොත් Group 2 හි ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය හා දකුණු අප්‍රිකාව සමඟ දෙවැනි වටය තරග වැදීමට සිදු වනු ඇත.

වත්මන් ආසියානු ශූරයන් වශයෙන් ජයග්‍රාහී මානසිකත්වයත් සමඟ මෙවර තරගාවලියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ සුවිශේෂීත්වය වන්නේ ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාත්මක දත්ත වාර්තාවලින් ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයන්ට වඩා පසුපසින් සිටියත් කණ්ඩායමක් වශයෙන් එකට නැගී සිටීමේ හැකියාව ඔවුන් සතුවීමයි.

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ඉතිහාසය වෙත ගමන් කරන විට ස්වර්ණමය ක්‍රිකට් යුගයකට හිමිකම් කී ශ්‍රී ලංකාව මේ දක්වා එක් ශූරතාවයකට (2014) හා අනුශූරතා දෙකකටම (2009, 2012) උරුමකම් කීමට සමත් වීම මෙහි දී අමතක නොකළ යුතු කාරණයක්.

සුපුරුදු පරිදි මෙවරත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ දසුන් ශානකටයි. නායකයෙකු වශයෙන් මෑතකාලීනව ඔහු ලද සාර්ථකත්වය කෙසේ ද යන්න වග අප සැවොම හොඳින්ම දන්නා කාරණයක්.

ආරම්භක පිතිකරුවන් ලෙස දකුණත් පිතිකරණ යුගලයක් වශයෙන් කුසල් මෙන්ඩිස් සමඟ පැතුම් නිශ්ශංක අනිවාර්යයෙන් ම කටයුතු කරනු ඇත. ඔවුන් දෙදෙනාම මේ වන විට ස්ථාවරව දස්කම් අතර සිටීම ශ්‍රී ලංකාවට මහත් අස්වැසිල්ලකි.

අංක 3 ස්ථානයේ චරිත් අසලංක හා ධනුෂ්ක ගුණතිලක දෙදෙනාගෙන් එක් අයෙකු කටයුතු කරනු ඇත. ඒ අතරින් අසලංක වර්තමාන රිද්මය අතින් මෑතකාලීනව පමණක් යම් පසුබෑමකට ලක්ව සිටින අතර ධනුෂ්ක තම T20I ක්‍රීඩා දිවිය පුරාවටම අසාර්ථක වී සිටීම ශ්‍රී ලංකා පිතිකරණ අංශයේ සෘනාත්මක කාරණයක් වශයෙන් සඳහන් කළ හැක. ඔවුන් දෙදෙනා ම වමත් පිතිකරුවන් ය.

අංක 4 ස්ථානය හිමිව ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාටයි. තරග ස්වභාවය අනුව ඔහුව ඇතැම් විට අංක 3 පිතිකරුවා බවට පත්කරවීමේ හැකියාවක් ද පවතී. පිතිකරණය මූලික කර ගත් දකුණත් පිතිකරුවෙකු වන ඔහු කණ්ඩායමේ 6 වැනි පන්දු යැවීමේ විකල්පය වශයෙන් ද දායකත්වයක් ලබා දෙන්නේ දකුණත් පිට දඟපන්දු යවන්නෙකු ලෙසයි.

ශ්‍රී ලංකා පිතිකරණ බලඇණියේ වඩාත් බලාපොරොත්තු සහගත පිතිකරුවා වශයෙන් අවිවාදයෙන් තොරව ම හැඳින්විය හැක්කේ වමත් ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂයි. ඔහු අංක 5 ස්ථානයේ පිතිකරණයේ යෙදෙනු ලබයි. තරග කණපිට හැරවිය හැකි පිතිකරුවෙකු වශයෙන් නිමා වූ ආසියානු කුසලාන තරගාවලියේ දී ඔහු පෙන්වූ කැපී පෙනෙන සාර්ථකත්වය ඒ බව මනාවටම ඔප්පු කරන කාරණයකි.

අංක 6 ස්ථානය හිමිව ඇත්තේ නායක දසුන් ශානකටයි. ප්‍රවේගකාරී පිතිකරුවෙකු වශයෙන් ඔහු 2022 වසර පුරාවටම ලබා ඇති අති විශාල සාර්ථකත්වය මෙම ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ දී ද පවත්වා ගතහොත් කණ්ඩායමට එය මහත් පිටිවහලක් වනු ඇත. පිතිකරණය මූලික කර ගත් දකුණත් පිතිකරුවෙකු වන ඔහු අවශ්‍ය විටක දී මද වේගපන්දු යැවීමෙන් ද යම් දායකත්වයක් ලබා දිය හැකි ක්‍රීඩකයෙකි.

කණ්ඩායමේ කඩුලු රැකීමේ භූමිකාව කුසල් මෙන්ඩිස්ට හිමිව ඇති අතර භානුක රාජපක්ෂ අතිරේක කඩුලු රකින්නෙකු වශයෙන් කටයුතු කරයි.

පන්දු යැවීමේ අංශයට යොමු වන විට වර්තමානය වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලතම තුරුම්පුව බවට පත් වී ඇත්තේ වනිඳු හසරංග බව අප කවුරුත් දන්නා කාරණයක්. දකුණත් පා දඟ පන්දු යවන්නෙකු ලෙස ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම නම් දැරූ පන්දු යවන්නෙකු ලෙස මේ වන විට පිළිගැනීමකට ලක්ව සිටින වනිඳු පිතිකරුවකු වශයෙන් ද තම දායකත්වය ලබා දෙන්නේ අංක 7 ස්ථානයේ පන්දුවට පහර දෙමින්.

වනිඳුගේ සහයක දඟපන්දු යවන්නා බවට පත් වී ඇත්තේ දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ යි. පන්දු වාරයකට අඩු ලකුණු ලබා දෙන පන්දු යවන්නෙකු වශයෙන් powerplay අවස්ථාවේ ද පන්දු යවමින් ප්‍රතිවාදී පිතිකරුවන්ව පීඩනයට ලක් කිරීමේ ඔහුගේ හැකියාව ශ්‍රී ලංකා පන්දු යැවීමේ අංශයට මහඟු ශක්තියකි.

ඔවුන් දෙදෙනාට අමතරව සංචිතයේ සිටින අනෙක් දඟපන්දු යවන්නා වන්නෙ දකුණත් පා දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ ය.

කණ්ඩායමේ වේගපන්දු බලඇණියට පෙරමුණ ලබා දෙන්නේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන දුෂ්මන්ත චමීර විසින්. ඔහුගේ සහයක වේගපන්දු යවන්නා බොහෝ දුරට ලහිරු කුමාර වීමේ වැඩි ඉඩකඩක් ඇත. ඔවුන් දෙදෙනාම අමතර වේගයක් සහිත දකුණත් වේගපන්දු යවන්නන් දෙදෙනෙක් වීම වේගපන්දුවට හිතකර ඕස්ට්‍රේලියානු තණතිලි මත දී මනා පිටිවහලක් බවට පත්වනු ඇත.

කෙසේ නමුත් විනයානුකූල පන්දු යැවීම අතින් ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට අපොහොසත් වීම නිසා ලහිරු කුමාරගේ ස්ථානය පිළිබඳව යමක් නිශ්චිතවම කිව නොහැක්කේ වමත් වේගපන්දු යවන්නෙකු වන දිල්ෂාන් මධුශංකත් මෑතකාලීනව සාර්ථකත්වයක් පිළිබිඹු කිරීම හේතුවෙන්.

කණ්ඩායමේ තෙවැනි වේගපන්දු යවන්නා බවට පත්ව සිටින්නේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නයි. ඔහු අංක 8 ස්ථානයේ පන්දුවට පහර දෙනු ලබයි.

ඔවුන්ට අමතරව සංචිතයේ සිටින අනෙක් වේගපන්දු යවන්නා වන්නේ දකුණත් පන්දු යවන්නෙකු වන ප්‍රමෝද් මධුෂාන් ය.

2015 වසරින් පසු නොයෙකුත් පසුබෑම් හමුවේ පරාජයන් අත්කරගත්තත් නැවතත් ශ්‍රී ලංකාව ජයග්‍රාහී මංපෙත් විවර කරගනිමින් මෑතකාලීනව ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීම කණ්ඩායමක් වශයෙන් ඉදිරියට ගමන් කිරීමට මහත් අස්වැසිල්ලකි.

ඒ ඔස්සේ ඉදිරියටම ගමන් කරමින් ජයග්‍රාහී කණ්ඩායමක් ලෙස ස්ථාවරත්වයක් පවත්වා ගැනීම මෙහි දී අනිවාර්ය කාරණයක් බවට පත්වේ.

ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය සියලු ධෛර්ය හා ශක්තිය ලැබී ජයග්‍රාහී මාවතේ ගමන් කොට විස්සයි විස්ස ලෝක කිරුළ ජය ගැනීමට හැකියාව ලැබේවායි ThePapare.com එකසිතින් ප්‍රාර්ථනා කරමු.

ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (C), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස් (WK), චරිත් අසලංක, භානුක රාජපක්ෂ (WK), ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහේෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, ඩිල්ෂාන් මධුශංක, ප්‍රමෝද් මධුෂාන්

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<