ප්‍රබල විදුලිය අඩපන කරමින් ගුවන් ක්‍රීඩකයෝ ශූරතාවය රැගෙන යයි

Munchee National Super League Volleyball Championship 2022

176

මහරගම තරුණසේවා සභා ගෘහස්ථ වොලිබෝල් ක්‍රීඩා සංකීර්ණයේ දී අද (28) පැවති 2022 මන්චි ජාතික සුපර් ලීග් වොලිබෝල් ශූරතාවයේ පිරිමි අවසන් මහා තරගයෙන් ප්‍රබල විදුලිබල මණ්ඩල කණ්ඩායම පරදවා ජයග්‍රහණය වාර්තා කරන්නට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් වුනා.

මෙවර තරගාවලිය සඳහා දිවයිනේ ප්‍රබල කණ්ඩායම් 7ක් වන විදුලිබල මණ්ඩල, ශ්‍රී ලංකා ගුවන් හමුදා, ශ්‍රී ලංකා යුද හමුදා, ශ්‍රී ලංකා නාවික හමුදා, ඕෂන් ලංකා, පොලිස් සහ වරාය අධිකාරි වොලිබෝල් කණ්ඩායම් තරගාවලිය සඳහා සහභාගී වුනා.

මෙම මූලික වටයේ තරගවලින් අනතුරුව අවසන් පූර්ව වටය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, වරාය අධිකාරිය සහ විදුලිබල මණ්ඩලය කණ්ඩායම් ඉදිරි තරග සඳහා සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව සහ විදුලිබල මණ්ඩලය කණ්ඩායම් පළමු අවසන් පූර්ව තරගයට සහභාගී වූ අතර එහි දී තරග වට 4-1ක ජයග්‍රහණයක් ලබා ගැනීමට විදුලිබල මණ්ඩල කණ්ඩායම සමත් වුනා. ලකුණු පුවරුව කියැවුණේ 23-25ක්, 25-23ක්, 25-22ක් සහ 25-20ක් ලෙසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ වරාය අධිකාරිය කණ්ඩායම් දෙවැනි අවසන් පූර්ව වටයට එක් වූ අතර එහි දී තරග වට 3-1ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත් වුනා. එහි දී 23-25ක්, 25-15ක්, 25-21ක් සහ 25-22ක් ලෙසින් තරග නිමා වුනා.

අවසන් මහා තරගය අද සවස 3ට පමණ ආරම්භ වූ අතර අරම්භයේ පටන්ම අවසන් මහා සංග්‍රාමය ඉතාමත් උණුසුම එකක් බවට පත්වුනා.

පළමු තරග වටය ලකුණු 27ක් දක්වා ඇදී ගිය අතර එහි දී ඉතාමත් කරට කර සටනක නිරත වූ කණ්ඩායම් දෙක අතරින් 2-25ක් ලෙස පෙරමුණ ගන්නට සමත් වුනේ ගුවන් හමුදා ක්‍රීඩකයිනුයි.

දෙවැනි වටය ද පළමු වටයට වඩා නොදෙවෙනි වූ නමුත් විදුලබල මණ්ඩල ක්‍රීඩකයින් තරමක් පසුපසට ඇද දමමින් එම වටය ජයග්‍රහණය කරන්නට ගුවන් හමුදාව සමත් වුනේ 25-22ක් ලෙසයි.

ඉතාමත් තීරණාත්මක වූ තෙවැනි වටයේ දී විදුලිබල මණ්ඩල ක්‍රීඩකයින් තරගයට අවතීර්ණ වනු ඇතැයි ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු තබා සිටියත්, එම වටය ද සාර්ථකව ජයග්‍රහණය කරන්නට සමත් වූ ගුවන් හමුදා ක්‍රීඩකයින් තරග වට 3-0ක් ලෙස මෙවර ශූරතාවය තමන් සතු කර ගන්නට සමත් වුනා.

පළමු තරග වටය දෙවැනි තරග වටය තෙවැනි තරග වටය
ගුවන් හමුදාව 27 25 25
විදුලිබල මණ්ඩලය 25 22 21

අවසන් මහා තරගයෙන් අනතුරුව සම්මාන, ත්‍යාග මුදල් මෙන්ම පෞද්ගලික දක්ෂතා ද අගය කෙරුණු අතර එහි දී, Best Outside Hitter ලෙස විදුලිබල ක්‍රීඩක විදුර ප්‍රභාත් සහ ගුවන් හමුදා ක්‍රීඩක කේ. පෙරේරා තේරිපත් වෙද්දී, Best Middle Player ලෙස විදුලිබල ක්‍රීඩක මලිත් චාමර සහ ගුවන් හමුදා ක්‍රීඩක පසිඳු චන්ද්‍රසේකර තේරිපත් වුනා.

ගුවන් හමුදාවේ මහේල ඉන්දීවර හොඳම ප්‍රතිවාදී ක්‍රීඩකයා ලෙස කැපී පෙනෙද්දී, හොඳම පන්දු සකසන්නා ලෙස කැපී පෙනුණේ ගුවන් හමුදාවේ මලීෂ ජයවර්ධනයි.

ගුවන් හමුදාවේ ජනිත ලක්රුවන් තරගාවලියේ හොඳම ලිබරෝ ක්‍රීඩකයා ලෙස අභිෂේක ලබද්දී, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස අභිෂේක ලැබුවේ ගුවන් හමුදාවේ මහේල ඉන්දීවරයි.

තරගාවලිය අවසානයේ ගියවර ශූරයින් වන ප්‍රබල විදුලිබල මණ්ඩල ක්‍රීඩකයින් අනුශූරයින් ලෙස සම්මාන ලබා ගනිද්දී, තෙවැනි ස්ථානය සඳහා හිමිකම් කීවේ ශ්‍රී ලංකා වරාය අධිකාර කණ්ඩායමයි.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<