ගුවන් ක්‍රීඩිකාවන් යුද ක්‍රීඩිකාවන් පරාජය කරමින් ශූරතාවයට

Munchee National Super League Volleyball Championship

130

දේශීය වොලිබෝල් පිටියේ පැවැත්වෙන තවත් එක් තරගකාරී වොලිබෝල් තරගාවලියක් වන මන්චි ජාතික සුපර් ලීග් වොලිබෝල් ශූරතාවයේ අද (28) පැවති කාන්තා අවසන් තරගයෙන් ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් වුනා.

අවසන් වරට පැවති ජාතික සුපර් ලීග් තරගාවලියේ කාන්තා අවසන් මහා තරගයේ දී එකිනෙකා මුණ ගැසුණු කණ්ඩායම් දෙකම මෙවරත් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා තිබුණු නමුත් ගියවර ශූරියන් වූ යුද හමුදාව තරග වට 3-1ක් ලෙස පරාජය කරන්නට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් මෙවර සමත් වුනා.

මෙවර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී A කාණ්ඩය නියෝජනය කළ යුද හමුදාව ක්‍රීඩිකාවන් විසින් නාවික හමුදා ක්‍රීඩිකාවන් තරග වට 3-1ක් ලෙස පරාජය කරමින් අද පැවති අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගනිද්දී, B කාණ්ඩයෙන් තරගාවලිය නියෝජනය කළ ගුවන් හමුදා ක්‍රීඩිකාවන් ද තරග වට 3-1ක් ලෙස හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය පරාජය කරමින් අවසන් තරගය සඳහා අසුන් වෙන්කරවා ගත්තා.

මහරගම තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අද දහවල් 1ට පමණ ආරම්භ වූ අවසන් තරගයේ පළමු වටයේ සිටම තියුණු සටනක් නිර්මාණය කරන්නට දෙපිලේම ක්‍රීඩිකාවන් සමත් වූ අතර 17-25ක් ලෙස එම වටය අවසානයේ පෙරමුණ ගන්නට යුද හමුදා ක්‍රීඩිකාවන් සමත් වුනා.

කෙසේ නමුත් දෙවැනි වටයේ සිට සිය ප්‍රහාරාත්මක බව වැඩි දියුණු කර ගත් ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සෙමින් සෙමින් දෙවැනි වටය සියතට ගන්නට සමත් වුනා. ඒ 25-21ක් ලෙස යුද හමුදාව පරාජය කරමින්.

තෙවැනි වටය ද පෙර තරග වට සේම අතිශය තරගකාරී වූ අතර ගුවන් හමුදා ක්‍රීඩිකාවන් විසින් ගියවර ශූරයින්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නට සමත් වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස 25-23ක් ලෙස තෙවැනි වටය අවසන් වුනේ ගුවන් හමුදා ක්‍රීඩිකාවන් ශූරතාවය සඳහා පියවරක් ලං කරමිනුයි.

කෙසේ නමුත් තීරණාත්මක සිව්වැනි වටය ජයග්‍රහණය කරමින් නැවත තරගයට පැමිණීම යුද හමුදාවේ අරමුණ වුනත්, එම බලාපොරොත්තු සුන් කරන්නට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් වුනේ 25-20ක් ලෙස සිව්වැනි වටයේ දී යුද හමුදාව පරාජය කරමිනුයි.

ඒ අනුව 17-25ක්, 25-21ක්, 25-23ත් සහ 25-20ක් ලෙස තරග වට අවසන් කළ ගුවන් හමුදා ක්‍රීඩිකාවන් මෙවර මන්චි ජාතික සුපර් ලීග් වොලිබෝල් ශූරතාවයේ කාන්තා ශූරියන් ලෙස අභිෂේක ලබන්නට සමත් වුනා.

පළමු තරග වටය දෙවැනි තරග වටය තෙවැනි තරග වටය සිව්වැනි තරග වටය
ගුවන් හමුදාව 17 25 25 25
යුද හමුදාව 25 21 23 20

තරගාවලිය අවසානයේ පෞද්ගලික දක්ෂතා අගය කෙරුණු අතර එහි දී, Best Outside Hitter ලෙස යුද හමුදාවේ තිළිණි වාසනා සහ ගුවන් හමුදාවේ දිනේෂා ප්‍රසාදිනි තේරිපත් වෙද්දී, Best Middle Player ලෙස ගුවන් හමුදාවේ ඉරේෂා උමයංගනී සහ ජී. රණසිංහ තේරිපත් වුනා.

තරගයේ හොඳම ප්‍රතිවාදී ක්‍රීඩිකාව ලෙස යුද හමුදාවේ අප්සරා සව්මාලි කැපී පෙනෙද්දී, හොඳම පන්දු සකසන්නිය ලෙස කැපී පෙනුණේ ගුවන් හමුදාවේ පී. තුෂාරි.

යුද හමුදාවේ තමරා කුමාරි තරගාවලියේ හොඳම ලිබරෝ ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලබද්දී, තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලැබුවේ ගුවන් හමුදාවේ අනුෂා අබේසිංහයි.

ඒ අනුව යුද හමුදාව මෙවර අනුශූරියන් ලෙස තේරිපත් වෙද්දී, තෙවැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනේ හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජය සමත් වුනේ නාවික හමුදා ක්‍රීඩිකාවන් පරාජය කරමිනුයි.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<